27 C
Colombo
19/01/2025

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක්

Share with your friends :

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් සහිත වාර්තාවක් පසුගියදා පැවැති පක්ෂ විධායක සභාවට ඉදිරිපත් කර ඇත.
පසුගිය මහා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර ඇතිකරගත් ගිවිසුම් ප‍්‍රකාරව ආණ්ඩුව කටයුතු නොකිරීම මීට හේතුවයි.

එසේම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගෙන් සිදුවන විවිධ හිරිහැර , ආණ්ඩුව මේ වනවිට දේශපාලනික වශයෙන් ජනතාවගෙන් ඈත්වීම,
පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසම මගින් ශ‍්‍රීලනිප නයකත්වයට චෝදනා එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වී තිබේ.
එහෙත් මෙහිදී නිදහස් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මේ මොහොතේ කිසිසේත්ම ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවට කරුණු දක්වා තිබේ. ආණ්ඩුවේ ඇමති ධුර දරන පිරිසේ වැඩි දෙනෙකු මෙහිදී ආණ්ඩුවෙන් ඉවත්වීමට කැමැත්ත පල කර නැත.

මේ අතර මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගමේ ශ්‍රීලනිප සාමාජිකයන් දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවත්, තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ නම් එම අදහසට හිස නමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බවය.

ශ්‍රීලනිපය මින් ඉදිරියට කටයුතු කරන්නේ ගම් මට්ටමේ පක්ෂ සාමාජිකයන්ගේ අදහස්වලට අනුව බවත්, ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම මතයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් පවසන ඇමතිවරයා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයන් පැරදවීමට පොදුජන පෙරමුණේ සමස්ත යාන්ත්‍රණයම යෙදවූ නමුත් එවැනි කුමන්ත්‍රණ මැද මෙතරම් ජයග්‍රහණයක් ශ්‍රීලනිපයට ලබා ගැනීමට හැකිවූයේ ගමේ ශ්‍රීලනිප සාමාජිකයාගේ අසීමිත කැප කිරීම් නිසා බව පෙන්වා දෙයි.

Share with your friends :