27 C
Colombo
20/01/2025

මහින්ද-බැසිල් මට ශක්තියක් විවිධ අය අර්බුද හදන්න හැදුවත් ඒවා හරියන්නේ නැහැ-ජනපති ගෝඨාභය

Share with your friends :

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන නායකයන් දෙදෙනා තමන්ට සෑම විටම ශක්තියක් බවත් විවිධ පුද්ගලයින් රාජපක්ෂ පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද රාජපක්ෂ පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“අපි සමස්තයක් විදියට කණ්ඩායමක් හැටියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අපේ විතරක් නෙමෙයි මුළු ආසියාවේම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කවුරුත් දන්නවා. එතුමාගේ පළපුරුද්දට , දේශපාලන පරිණතභාවයට දේශපාලන දැනුමට හා නායකත්වයට කිසිවෙකුට ළං විය නොහැකියි. එවැනි නායකයෙක් නායකත්වය දෙනකොට රට ගෙනියන මට විශාල සහනයක් කියලා හිතෙනවා. අපි ජයග්‍රහණය කිරීමේ දී ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ කියන චරිතය . ඒ වගේම බැසිල් රාජපක්ෂ පක්ෂයක් බිහි කරලා රජයක් නිර්මාණය කරන්න රටේ වාතාවරණය සකස් කිරීම ගැන අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මෙවැනි නායකයින් දෙදෙනෙක් ඉන්න රජයක් ඉදිරියට ගෙනයෑමට ඉතාම පහසුයි. ඒ නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී මම බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කොපමණ දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවක දී කිසිම බලපෑමක් කරලා නෑ කිසිදු පත්වීමක දී. මම හොඳටම දන්නවා එතුමා කිහිපදෙනෙකුට කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න කියලා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාත් කිසිදු අවස්ථාවක දී කිසිදු බලපෑමක් කිසිදු පත්වීමට හෝ කිසිදු දේකට. විශේෂයෙන් අවුරුදු 60කට ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. මම දන්නවා උදේට විජේරාමයේ දොරක් අරින්න බෑ පිරිලා සෙනඟ. එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරව දන්නවා නමුත් අපි කිසිම විටක අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවා කියලා මම නිර්භයව කියනවා, විවිධ ඇය අර්බුද හදන්නට හදනවා, ඒත් මේ පවුල එහෙම අර්බුද හදන්න පුළුවන් පවුලක් නෙවෙයි කියලා මම කියනවා ” ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරත් පැවසීය.

Share with your friends :