27 C
Colombo
19/01/2025

සීනි බදු වංචාවෙන් කෝටි 1600ක පාඩුවක්

Share with your friends :

සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1,600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබුණා. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් කිහිපදෙනෙකු විසින් රජයට අපේක්ෂිත බදු ආදායම් අහිමි කරමින් රුපියල් කෝටි 1,600ක පමණ පාඩුවක් සිදුකර ඇතිබව අදාළ වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණා. 2020 ඔක්තෝබර් මස 12 වන දින රුපියල් 50ක්ව පැවති සීනි ආනයන තීරු බද්ද ඔක්තෝම්බර් මස 13 දින නිකුත්කළ ගැසට් නිවේදනය අනුව ශත 25ක් දක්වා අඩු කෙරුණ ද වෙළඳපොළ තුළ සීනි මිලේ අඩුවක් දක්නට ලැබුණේ නැහැ.
ඒ හේතුවෙන් 2020 නොවැම්බර් 10 වනදා නැවතත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රුපියල් 125කට ආසන්න අගයක පැවති සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කට සීමා කරමින්. එසේ වුවත් සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් ඇතුළු අනෙකුත් ආනයනකරුවන් සීනි මිල අඩුකළ බවක් වෙළෙඳපොළ තුළින් නිරීක්ෂණය නොවූ බවත් ඒ වෙනුවට සීනි බදු අඩුකළ ඔක්තෝබර් මාසයේ සිට ගතවූ මාස 3ක කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 320,000 ක් මෙරටට ආනයනය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ දැක්වෙනවා.

Share with your friends :