27 C
Colombo
26/09/2024

පහසු-සහන ක්‍රමයකට ශ්‍රීලංකාවට පැමිණෙන්න ඉඩදෙන්න-විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ රජයට දන්වති

Share with your friends :

ලොව පුරා වෙසෙන ශ්‍රීලාංකිකයන්ට නැවත ශ්‍රීලංකාව වෙත පැමිණීමේදී මුහුණපාන්නට සිදුව තිබෙන දැඩි දුෂ්කරතා සහ අධික වියදම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා සහනදායී පහසු ක්‍රමවේදයක් ලබා දෙන ලෙස ලක්ෂ සංඛ්‍යාත විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.
විශේෂයෙන්ම විදේශික සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීමට ඇති ක්‍රමවේදයට වඩා සංකීර්ණ ක්‍රමවේදයක් ශ්‍රීලාංකිකයන්ට තම රටට පැමිණීමට අනුගමනය කරන්නට සිදුවීම අසාධාරණයක් බව ඔවුහු පෙන්වා දෙති. මේ වන විට යුරෝපයේ වෙසෙන ශ්‍රීලාංකික පරිස් නගර මට්ටමින් විරෝධතා ව්‍යාපාර පවත්වන්නට පවා පෙළඹ සිටිති.
එසේම ශ්‍රීලංකාවට පැමිණීමේදී අධික මිලට ගුවන් ටිකට්පත් මිලදී ගන්නට සිදුව ඇති බවත් එම මිලෙන් අඩකට සාමාන්‍ය ගුවන් සේවා මගින් ටිකට්පත් මිලදී ගන්නට හැකියාව පවතින බවත් ලොව පුරා ශ්‍රීලාංකිකයෝ පෙන්වා දෙති. එසේම මේ වන විට තමන් ජීවත් වන රටවලින් කොවිඩ් එන්නත ලබා ගෙන ඇති ශ්‍රීලාංකිකයන්ට ඒ වෙනුවෙන් නිකුත් කර ඇති ලියකියවිලි සමග පැමිණෙන විට නිවසේ නිරෝධායනයට ඉඩ දෙන ලෙස හෝ එසේත් නැතිනම් ශ්‍රීලංකාවට පැමිණෙන්නට පැය 72 කට පෙර ලබා ගත් PCR වාර්තාවක් හා ශ්‍රීලංකාවට ඇතුලත්වීමේදී ලබා ගන්නා රැපිඩ් PCR වාර්තාවක් හෝ පදනම් කරගෙන කිසියම් සහනදායී පහසු ක්‍රමවේදයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලොව පුරා විසිරී සිටින ශ්‍රීලාංකික සංවිධාන ඉල්ලා තිබේ.
එසේම මැදපෙරදිග රටවල ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු පවසන්නේ ශ්‍රීලංකාවට පැමිණීමේදී නිරෝධායන හෝටල් වලට හා PCR පරීක්ෂණ සඳහා ගෙවන්නට සිදුවන මුදල දරාගැනීමට දැනට එම රටවල ඉතිරිව සිටින බොහෝ දෙනෙකුට අපහසු බවයි.
එසේම නිරෝධායනය වීම අවශ්‍යම නම් ඒ සඳහා දැරිය හැකි ගාස්තු යටතේ ඒ ඒ පුද්ගලයාට රුචිය පරිදි විවිධ ප්‍රදේශවල හෝටල් කීපයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසටද විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ ඉල්ලා සිටිති.
මේ අතර ලොවපුරා ශ්‍රීලාංකික සංවිධාන හා විවිධ පිරිස් එක්ව මේවන විට මෙම ඉල්ලීම් මුල්කරගෙන පෙත්සමක් ද අත්සන් තැබීම ආරම්භ කර තිබේ.
වත්මන් රජය බලයට පත් කිරීම සඳහා පසුගිය මැතිවරණ වලදී තම වියදමෙන් ශ්‍රීලංකාවට පැමිණ මැතිවරණ කටයුතුවල නිරතවූ විදෙස්ගත ශ්‍රීලාංකික සංවිධාන හා ශ්‍රීලාංකික පිරිස් මෙම කටයුත්තට පෙරමුණ ගෙන සිටිති. රජයේ කාර්යාල හා පාසල් විවෘත කර රට යථා තත්වයට පත් කරන්නට රජය කටයුතු කරමින් සිටිද්දී විදෙස් ගත ශ්‍රීලාංකියන්ට තම රටට ඇතුල්වීමට ඉඩ නොදීම අසාධාරණ බවද තමන් වසර ගනනාවක් තිස්සේ රටට මාස්පතා විශාල විදේශ විනිමයක් ලබා දෙන පිරිසක් බවත් එම නිසා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සානුකම්පිතව දැඩි අවධානයක් රජය යොමුකළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් රජයට දන්වා සිටිති.

Share with your friends :