27 C
Colombo
25/09/2024

ජපානයට නොදුන් සැහැල්ලු දුම්රිය වෙනුවට මාර්ග පහක්ම අලුතින් ඉදිකිරීමට රජයේ අවධානය

Share with your friends :

බස්නාහිර පළාත ආවරණය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග පහක් පුද්ගලික ආයෝජකයන් ලවා ඉදිකර ඔවුන්ට ඒවායේ ප්‍රතිලාභ වසර 30 ක කාලයක් ලබාදීමෙන් පසුව ඒවා රජයට පවරා ගැනීමට රජය කටයුතු කර ගෙන යයි. ඒ අනුව ඒවා ඉදි කෙරෙන්නේ රජයේ හා පුදලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙසය.
මෙම දුම්රිය මාර්ග ඉදි කෙරෙන්නේ කිලෝමීටර් 32.4 ක් වන රාගම-කඩවත-කොටුව-කිරුලපන මාර්ගය, කිලෝමීටර් 28.6 ක් වන කැලණිය-බොරැල්ල-නුගේගොඩ-පිළියන්දල-මොරටුව මාර්ගය,කිලෝමීටර් 21.5 ක් වන හුණුපිටිය-අංගොඩ-කොස්වත්ත- මහරගම -කොට්ටාව ලෙසත්, කිලෝමීටර් 15.8 ක් වන මාලඹේ-කොටුව ලෙසත් , කොළඹ කොටුව සිට වරාය නගරය දක්වාත්ය.කණු මතින් ඉදිවන මෙම දුම්රිය මාර්ග වල විදුලි දුම්රිය ධාවන කෙරෙන බව සඳහන්ය.
මේ අතර දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ දුම්රිය සේවාවන්ට පුද්ගලික අංශයට පිවිසීමට ඉඩක් නැති අතර ඒවා රජය යටතේ පවත්වා ගත යුතු බවයි.මෙය වසර තිහකට පසු රජයට ලැබීමෙන් පලක් නැති බවත් වසර තිහක් ගතවූ පසු දුම්රිය මාර්ගයෙන් හෝ එහි දුම්රිය නැවත ප්‍රයෝජනයක් ගත නොහැකි බවත්ය. එසේම මේ යටතේ ජනතවට දර ගත නොහැකි ලෙස දුම්රිය ගාස්තු ඉහළයාමේ අවදානමක් ඇතැයිද වෘත්තීය සමිති චෝදනා කරයි.
කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම ජපානය මේ වන විට ශ්‍රීලංකාව සමග අමනාපයෙන් පසුවෙයි. අදාළ ව්‍යාපෘතිය නැවත්වීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනය වෙත ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට සිදුවී ඇත.
කෙසේ වෙතත් නව දුම්රිය මාර්ග කවර රටක ආයෝජකයන්ට ලබා දෙන්නේදැයි තවමත් හෙළිවී නොමැත.
මේ අතර රජයේ සංඛ්‍යාලේඛන පවසන්නේ මාර්ග තදබදය නිසා 2019 වසර තුළ ශ්‍රී ලංකාවට දෛනිකව සිදුවී තිබෙන ආර්ථික අලාභය රුපියල් කෝටි 100 ක් ලෙස ගණන් බලා ඇති බවය.සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් දෛනිකව රුපියල් මිලියන 550 ක ඉතිරි වන බව පැවසේ.

Share with your friends :