27 C
Colombo
25/09/2024

බ්‍රිතාන්‍ය රජ පවුල ගැන හැරී කුමරුගේ බිරිඳ මේගන්ගේ හෙළිදරව්වෙන් ලොවම කැළඹෙයි

Share with your friends :

හැරී කුමරුට හා බිරිඳ මේගන් හට මෙවර ලැබෙන්නට නියමිත දියණියට මුල් නාමය “ඩයනා” ලෙස නම තැබීම නොකරන්නට ඔවුන් තීරණය කර ඇත්තේ තම දියණිය මාධ්‍යවල පුවත් මවන්නියක් වීම වලකාලන්නට බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ. හැරී කුමරුගේ මව වන ඩයනා කුමරිය ලොවපුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවූ කාන්තාවක් වුවාය.
කෙසේ වෙතත් එය දෙවන නාමය ලෙස තැබීමට ඉඩ ඇති බවද සැලකේ.
මේ වන විටත් විලියම් කුමරුගේ හා කෙට් මිඩ්ල්ටන් ගේ පස් හැවිරිදි දියණියට නම තබා ඇත්තේ චාලට් එලිසබෙත් ඩයනා ලෙසය. Princess Charlotte of Cambridge නාමය ලද ඇය බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් දරන්නන් අතර සිවුවන ස්ථානයේ පසුවන්නීය.
හැරී කුමරු සහ මේගන් විසින් ඇමරිකානු රූපවාහිනී සේවාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සිදු කරන ලද විවිධ හෙළිදරව් කිරීම් නිසා බ්‍රිතාන්‍ය රජපවුල මේ වන විට අපහසුතාවයට පත්ව සිටිති.මේගන් ඇමරිකානු නිලියක් වන අතර මීට පෙර වෙනත් පුද්ගලයකු හා විවාහයෙන් දික්කසදවී 2018 වසරේදී හැරී කුමරු සමග නැවත විවාහ විය.
ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා ජනතාව කතා කරති. මේගන් මෙහිදී බ්‍රිතාන්‍ය රජ පවුල ජාතිවාදී බවට චෝදනා කළාය.
තම පුතා උපදින්නට පෙරම පුතාගේ සමේ පැහැය පිළිබඳව රජ පවුලේ ඇතැමුන් සැලකිලිමත් සැලකිලිමත් වූ බව ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ. ඇයගේ පියා සුදු ජාතිකයකු වුවද ඇයගේ මව කළු ජාතික කාන්තාවක් වීම ඊට හේතුවයි.
එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් වරෙක තමන්ට සියදිවි හානිකර ගැනීමට පවා සිතුනු බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
මේ අතර හැරී කුමරු පැවසුවේ තමන් රජ පවුලෙන් ඉවත්ව යාමට ගත් තීරණයත් සමග තම පියා වන චාල්ස් කුමරු තමන් ගේ දුරකථන ඇමතුම් පවා නොගන්නා තත්වයක් ඇතිවූ බවද තම පියා සහ සොයුරු විලියම් කුමරු රජ පවුලේ බැඳීම් වලට මැදිවී ඇතැයිද යනුවෙනි. කෙසේ වෙතත් තම මිත්තනිය වන මහරැජින සමග තමන්ගේ සමීප සම්බන්ධතාවයක් ඇතැයිද හැරී කුමරු පැවසුවේය.
මේ අතර මේගන් පැවසුවේ විලියම් කුමරුගේ බිරිඳ කේට් යහපත් කාන්තාවක් බවයි. එසේම මහරැජින තමාට මනරම් ස්වර්ණාභරණ ත්‍යාග ලෙස දුන් බවත් එක්ව සංචාරය කරද්දී උණුසුම ආරක්ෂා කරගැනීමට බ්ලැන්කට් එක පවා ලබා දුන් බවත් මේගන් සඳහන් කළාය.
එසේම තමන් රජ පවුලට එක් වීමට පෙර රජ පවුල ගැන හෝ ඔවුන්ගේ සිරිත්විරිත් සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකළ බවද මේගන් පැවසුවාය.
කෙසේ වෙතත් එල්ලවූ මෙම චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ප්‍රකාශයක් නිකුත්කර නොමැත.

Share with your friends :