27 C
Colombo
24/09/2024

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංශෝධිත යෝජනාව අද

Share with your friends :

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එහි සංශෝධිත යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කෙරේ.
විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය මස 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඇමතූවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය පෙබරවාරි 24 වැනිදා එම කවුන්සිලයට ඉදිරිපත් කළාය. මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයෙන් පසු විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 24 වැනිදා ඊට පිළිතුරු ද ඉදිරිපත් කළේය.
අද මෙම සංශෝධිත යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් රටවල් අතර සංවාද පැවැත්වෙනු ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක් ඇති අතර එහි සාමාජිකත්වය වසර තුනෙන් තුනට වෙනස් වෙයි.ඒ අතරින් කිසිදු රටකට මෙහි නිශේධ බලයක් හිමිනොවේ. දැනට සිටින රටවල් 47 වන්නේ ප්‍රංශය,එක්සත්රාජධානිය,ජර්මනිය,නෙදර්ලන්තය ගැබෝන්,මලාවි,සෙනෙගල්,ලිබියාව,මුරුටානියා,සුඩානය,නැමීබියාව, බුර්කනා පාසෝ,කැමරූන්,එරිත්‍රියාව,සෝමාලියාව ,ටෝගෝ, ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය,ඉතාලිය,බොලීවියාව,කියුබාව,මෙක්සිකෝව,බ්‍රසීලය,වෙනිසියුලාව,ආර්ජන්ටිනාව,බහමාස්,උරුගුවේ,රුසියාව,යුක්රේනය,පෝලන්තය,බල්ගේරියාව,චෙක්ජනරජය,චීනය,නේපාලය,පකිස්ථානය,උස්බෙකිස්තානය,ආර්මේනියාව,ඉන්දුනීසියාව,ජපානය,මාර්ෂල් අයිලන්ඩ්ස්,දකුණු කොරියාව,බහරේන්,බංගලාදේශය,ෆීජි,ඉන්දියාව,පිලිපීනය,කෝට් ඩිවාර් යන රටවල්ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදය පසුගිය පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ වූ අතර එම සංවාදයේදී රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය පළ කිරීම විශේෂයක් විය.එහිදි රටවල් 38 ක නියෝජිතයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදි රටවල් 21 ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කළේය. කෙසේ නමුත් එසේ ශ්‍රීලංකාව ට පක්ෂපාතිත්වය දැක්වූ රටවල් අතරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද බලය ඇත්තේ රටවල් දහයකට පමණි.
චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව යනාදී රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පක්ෂපාතීව අදහස් දැක්වූහ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂව අදහස් දැක්වූ රටවල් අතර කිසිදු බටහිර රටක් නොසිටීම ද විශේෂත්වයක් විය. ඇමරිකා එක්සත් ජනපදය මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව නොමැත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන සතියේදී පැවැත්වෙනු ඇත.
අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ද ඉන්දියානු සහ ජපාන නියෝජිතයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කළහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කරන වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලික කණ්ඩායම අදහස් කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාසයේ දී සඳහන් කළේය.ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ, මලාවි සහ එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය දිනවල රටවල් කීපයක තානාපතිවරු විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී වරින්වර සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඔවුන් කුමක් සඳහන් කළේදැයි දැනගන්නට නැත.

Share with your friends :