27 C
Colombo
19/01/2025

ඇමතිවරුන් හා වෘත්තීය සමිති සමග ගැටුණු රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතලිස් ගණනක් ඉවතට ?

Share with your friends :

ඇමතිවරුන් සමග හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකර ගෙන සිටින රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතළිහකට අධික පිරිසක් ඉවත් කිරීම හෝ ඔවුන් වෙනත් ආයතන වලට මාරු කිරීම ළඟදීම සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ගැටුම්කාරී තත්වයන් නිසා අමාත්‍යංශ රැසක හා රාජ්‍ය ආයතන රැසක එදිනෙදා කටයුතු කර ගෙන යාම අසීරු වී තිබේ. එය රජයේ සංවර්ධන ක්‍රියාවලියට විශාල බාධාවක් බව ඇමතිවරුන් ගනනාවක්ම රජයේ ප්‍රබලයන්ට දැනුම් දී තිබේ.
ඇමතිවරුන් සමග ගැටුම් ඇතිකර ගෙන තිබෙන ඇතැම් සභාපතිවරුන් පුද්ගලිකවම ගෙන්වා රජයේ ප්‍රබලයන් විසින් කරුණු පැහැදිලි කලද මේ දක්වා එම ගැටළු විසඳි නැත.
විශේෂයෙන්ම ප්‍රධාන තනතුරුවලට පත් කල වියත්මග වැනි සංවිධාන වල වෘත්තිකයන් රැසක් මෙම ගැටලුකාරී තත්වයනට මුහුණදී සිටිති. ඔවුන් යම් යම් ක්ෂේත්‍රවල ප්‍රවීනයන් වුවද මහජන සේවා වලදී හා රාජ්‍ය සේවකයන් සමග කටයුතු කිරීමේදී දක්වන අකාර්යක්ෂමතාවය හා අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් ඇති දැනුම අඩු වීම මෙම තත්වයන්ට බලපා තිබේ. එසේම ඇතැම් ආයතන ප්‍රධානීන් විෂය භාර ඇමතිවරයා නොසලකා හරිමින් ආණ්ඩුවේ ඉහල පාර්ශව සමග කටයුතු කිරීමද මෙම ගැටුම්වලට බලපා ඇත.
ඒ හේතුවෙන් අදාළ රාජ්‍ය ආයතන වල එදිනෙදා කටයුතු අඩපණවීම දක්නට ලැබෙන අතර ඉදිරි මහා මැතිවරණ සඳහා එය ඍජුවම බලපෑම මෙම සංශෝධනයන්ට හේතුවී තිබේ.
මේ ඇතැම් සභාපතිවරුන් තනතුරුවලින් මුළුමනින්ම ඉවත් කෙරෙන අතර සෙසු අය සඳහා වෙනත් ආයතන ලබාදීමට නියමිතය.

Share with your friends :