27 C
Colombo
18/01/2025

දේශපාලන පලිගැනීම් කොමිසම ගැන සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට පැමිණිලි

Share with your friends :

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදු වී තිබෙන හෙයින් එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 ක් විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම මඟින් සඳහන් කර ඇත්තේ, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කොමිසමේ අවසන් වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල හෑල්ලුවට ලක්කර ඇති බවය.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමය, ස්වාධිපත්‍ය බලය, ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද , ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව අදාළ කොමිසමේ කොමසාරිස්වරු වශයෙන් කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන අය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) යන වගන්තිය යටතේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පරීක්ෂණයක් පවත්වා තීන්දු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම උපාලි අබේරත්න සහ චන්ද්‍රසිරි ජයතිලක යන කොමසාරිස්වරුන්ගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.

Share with your friends :