27 C
Colombo
19/01/2025

නායකත්ව පුහුණුවට ටෙලිකොම් ඉහල නිලධාරීන් සංවිධානය කල විනෝද ගමනක් සභාපති නවත්වයි

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නායකත්ව පුහුනුවක් සඳහා යැයි පවසමින් පෙබරවාරි 26,27,28 තෙදින දඹුල්ලේ තරු පහේ හෝටලයක සංවිධානය කර තිබු දින තුනක සංචාරයක් ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ගේ නියෝගයෙන් නවතා දමා තිබේ.
මෙම සංචාරය සඳහා අදාළ හෝටලයේ කාමර පවා වෙන්කරවා ගෙන තිබු අතර සභාපතිවරයා පවසා ඇත්තේ මෙවන් විශාල වියදම් අපරාධයක් බවත් , රට මෙවන් තත්වයක තිබියදී මෙවන් සංචාර සුදුසු නොවන අතර ඒවා රජයේ නිරෝධායන නීතිද උල්ලංඝනය කරන්නක් බවයි.
මේ අතර ටෙලිකොම් වෘත්තීය සමිති පවසන්නේ මෙය නායකත්ව පුහුණු වැඩසටහනක් නොව විනෝද ගමනක් බවය. මේ සඳහා බිරින්දෑවරු හා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් රැගෙන යාමත් ,සේවයෙන් විශ්‍රාම ගිය ටෙලිකොම් ඉහල නිලධාරීන් රැගෙන යාමත් ඊට හේතුව ලෙස වෘත්තීය සමිති පෙන්වා දෙති. මේ අතර මේ වසරේ මාර්තු මාසයේ හා අප්‍රේල් මාසයේ විශ්‍රාම යන නිලධාරීන් පිරිසක්ද මේ ගමන සඳහා යාමට නියමිතව සිටියහ. ටෙලිකොම් වෘත්තීය සමිති පවසන්නේ විශ්‍රාම ගිය හා ළඟදී විශ්‍රාම යාමට නියමිත පිරිස් වලට හා ඔවුන්ගේ දරුපවුල් වලට නායකත්ව ෆුනුව ලබා දීම විහිළුවක් බවයි. මෙම හෝටලයේ කාමරයක ගාස්තුව ආහාර නොමැතිව දිනකට ඩොලර් 150 ක් පමණ වන අතර මේ පිරිස සඳහා කාමර 80 ක් පමණ ලබා ගැනීමට නියමිතව තිබිණි. ටෙලිකොම් වෘත්තීය සමිති පවසන්නේ මේ සංචාරය සඳහා රුපියල් මිලියන ගනනක් වැය කරන්නට නියමිතව තිබු බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම ටෙලිකොම් සභාපතිවරයා අදාල සංචාරය සංවිධායකවරුන් හට දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ බැංකු ණය පවා ලබා ගෙන ආයතනය පවත්වා ගෙන යන බව මතකයේ තබා ගෙන අනවශ්‍ය වියදම් කපා හරින්නට කටයුතු කරන්නට කළමනාකාරිත්වය කටයුතු කල යුතු බවය.

Share with your friends :