27 C
Colombo
19/01/2025

ක්‍රීඩා ඇමති නාමල් අසරණ කර ක්‍රිකට් මාෆියාව තේරීම් කමිටුව තෝරන්නට මැදිහත් වෙයි

Share with your friends :

ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරීම් කමිටුවක් පත් කර ගැනීම මේ වන විට බරපතල ගැටළුවක් වී තිබේ.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර ගැනීමේදී යම් යම් පාර්ශව තම තමන්ට ඇති බලතල ඉක්මවා යමින් අත්තනෝමතිකව කටයුතු කිරීම මේ ගැටලුවට හේතුවී තිබේ.
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික තේරීම් කමිටුව සඳහා රෝයි ඩයස් , ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ ,හේමන්ත වික්‍රමරත්න හා වරුණ වරාගොඩ මුලින්ම නම් කරන ලදී. මෙහිදී රෝයි ඩයස් ඒ සඳහා තමන්ගේ කැමැත්තක් නොමැති බව දන්වන ලද අතර ඒ අනුව සෙසු සිවු දෙනාගේ නම් ජාතික තේරීම් කමිටුව වෙත යවන ලදී.
ජාතික තේරීම් කමිටුවේ මැදිහත්වීම

මෙහිදී ජාතික තේරීම් කමිටුව අදාළ නම් සමග ඔවුන් විසින් තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකුගේ නම් යෝජනා කර ඔවුන්ගේ නම්ද ඇතුලත් කර යලි තමන් වෙත එවන ලෙස ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දන්වා යවා තිබේ.
අමල් සිල්වා , බ්‍රෙන්ඩන් කුරුප්පු හා කපිල විජේගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් එසේ ජාතික තේරීම් කමිටුව මගින් එවා තිබිණි.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙහි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රවීනයන් ඇතුලත්ව නැත. එසේ තිබියදී ඔවුන් විසින් මෙසේ ක්‍රීඩකයන් තිදෙනෙකු නම් කර එවීම ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල දැඩි කතාබහට ලක් විය.
කෙසේවෙතත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ උපදෙස් පරිදි අදාල නව නම් තුනද ඇතුලත් කර නම් හත ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩා උපදේශක කමිටුව වෙත යවන ලදී.එම කමිටුව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට පත් කල කමිටුවයි. අරවින්ද ද සිල්වා ,මුත්තයියා මුරලිදරන් ,රොෂාන් මහානාම සහ කුමාර සංඝක්කාර කමිටුවට අයත් වෙති. මෙම කමිටුව පත් කරන ලද අවස්ථාවේද ඔවුන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාට අවධාරණය කලේ ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව යලි ගොඩනැගීමෙහිලා ප්‍රධානතම ස්ථානය බැවින් ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත්විය යුතු බවය.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ , හේමන්ත වික්‍රමරත්න , වරුණ වරාගොඩ , අමල් සිල්වා , බ්‍රෙන්ඩන් කුරුප්පු හා කපිල විජේගුණවර්ධන එසේ යවන ලද නම් හත වේ.

ක්‍රිකට් උපදේශක කමිටු තීරණය
එම කමිටුව වෙත ඉහත නම් හත යොමු කල විට අදාල් කමිටුව විසින්ද ස්ථිර කරන ලද්දේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන නම් තුනය.
මෙම නම් තුන ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වෙත යවන ලද අතර ඉන්පසුව එම නම් යලිත් වරක් ජාතික තේරීම් කමිටුව වෙත යවන ලදී. එහිදී ජාතික තේරීම් කමිටුව විසින් සිදු කර ඇත්තේ ක්‍රිකට් උපදේශන කමිටුව විසින් නම් කර එවන ලද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන නම් අතරින් හේමන්ත වික්‍රමරත්න ගේ නම පමණක් ඉතිරි කර ගෙන බ්‍රෙන්ඩන් කුරුප්පු , කපිල විජේගුණවර්ධන හා වරුණ වරාගොඩ යන නම්ද ඊට ඇතුලත් කිරීමය. ඒ අනුව හේමන්ත වික්‍රමරත්න , බ්‍රෙන්ඩන් කුරුප්පු , කපිල විජේගුණවර්ධන හා වරුණ වරාගොඩ යන නම් ජාතික තේරීම් කමිටුව විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය වෙත යවන ලදී. එහිදී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රධානත්වය දරන මහෙල් ජයවර්ධන විසින් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් උපදේශන කමිටුවෙන් විමසා තිබේ. එහිදී ක්‍රිකට් උපදේශන කමිටුව විසින් පවසා ඇත්තේ තම කමිටුව විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන නම් තුන පමණක් නම් කල බවය. ඒ අනුව ජාතික තේරීම් කමිටුව පත් කර එවන ලද නව තේරීම් කමිටුව ජාතික කීඩා කවුන්සිලය අනුමත කලේ නැත. එහෙත් ලබන 23 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය සංචාරය සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුව ලෙස හිටපු තේරීම් කමිටුවම පත් කරන්නට ක්‍රීඩා බලධාරීන් කටයුතු කරන ලදී.
ඒ අනුව අසන්ත ද මෙල් එම කමිටුවෙන් මේ වන විට ඉවත්ව සිටින බැවින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කණ්ඩායම තේරීම සිදු කරනු ඇත.

උපදේශන කමිටුව ඉල්ලා අස්වෙයිද ?
මේ අතර මෙම සිද්ධිය මුල් කරගෙන මේ ප්‍රශ්නය මත පසුගියදා පත් කරන ලද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ක්‍රිකට් උපදේශන කමිටුවද ඉල්ලා අස්වීමට උත්සහ කර ඇතත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් එය වලක්වා තිබේ. ඔවුන් පවසා ඇත්තේ මේ ආකාරයට කරුණු කාරනා සිදුවන්නේ නම් තමන් නියෝජනය කරන කමිටුවෙන් වැඩක් නොවන බවය. කෙසේවෙතත් හැකි ඉක්මනින් සියලු පාර්ශව සමග සාකච්ඡා කර මේ ප්‍රශ්නය නිරාකරණය කරන බවට නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අදාල උපදේශන කමිටුව පත් කරන ලද අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය බොහෝදෙනා සතුටට පත්වුයේ ඒ හරහා නැවත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව පෙර තිබු තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කල නිසාය. එහෙත් පවතින තත්වය මත එම කමිටුවේ තීරණ ආපසු හරවන බලවේග ක්‍රියාත්මක වීම බරපතල ගැටළුවක් වී තිබේ.
එය මේ වනවිට නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයාටත් විසඳා ගැනීමට අපහසු ගැටළුවක් වී තිබේ. තරුණ ඇමතිවරයකු ලෙසත් නව ආකාරයකින් ගැටළු දෙස බලන්නකු ලෙසත් නාමල් රාජපක්ෂ හට වර්තමාන රාජ්‍ය පාලන තන්ත්‍රය තුල ඇති බලය අනුවත් මේ ගැටළු පහසුවෙන් විසඳා ගත හැකි වෙතැයි බොහෝ දෙනා සිතුහ. එහෙත් ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඇති මාෆියාවන් පාලනය කිරීම ඔහුටද කල නොහැක්කක් වී තිබේ.
නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් පත් කරන ලද ක්‍රිකට් උපදේශන කමිටුව තිබියදී ජාතික ක්‍රීඩා කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට යාම මෙම ගැටලුවට මුල්වී ඇති අතර ඔවුන් විසින් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම හා ඒ අනුව ඒ සඳහා තිදෙනෙකු ඇතුලත් කිරීම , උපදේශන කමිටුව නොසලකා හැරීම බරපතල කාරණා ලෙස ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල මේ වන විට සාකච්ඡා වෙමින් පවතී.
මැදිහත් වන පිරිස
ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පත් කිරීමේ කටයුත්තට ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බලපෑම් කිරීම ,ක්‍රිකට් ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධතා ඇති, දේශපාලනයටද සම්බන්ධ පවුලක සාමාජිකයන් කීපදෙනෙකු,බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාර සිදු කරන ප්‍රබල ව්‍යාපාරිකයෙකු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙකු ඒ සඳහා බලපෑම් කිරීම මේ වන විට දැඩි කතා බහට ලක්ව ඇති කාරණාය.
එසේම දැනට පුහුණුකරු තනතුරක් දරන හිටපු නායකයකුද මේ පිරිස සමග සම්බන්ධවී සිටින අතර කලක් තිස්සේ ඔහු තවත් හිටපු ක්‍රීඩකයකු සමග ඇති ගැටුමක් මීට මුල්වී තිබේ.
මීට පෙර තිබු ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි සාමාජිකයකු හරහා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් වලට ඍජු බලපෑමක් සිදු කිරීමට මොවුන් කටයුතු කර තිබු අතර නව තේරීම් කමිටුවේ තමන්ට බලපෑම් කල හැකි පුද්ගලයකු නොමැතිවීම මේ පිරිසට ගැටළුවක් වී ඇති බවද කියවේ. මේ සමග කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ නමද ගෑවී තිබේ.
මේ අතර රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ ඉහලම දේශපාලනඥයෙකුට මේ කමිටුව සඳහා හිටපු තේරීම් කමිටුවක සාමාජිකයකු ඇතුලත් කර ගැනීමට නිරන්තරයෙන් බලපෑම් කරමින් සිටින බවද ඒ තමන්ගේ ගෝල බාලයන් කණ්ඩායමට ඇතුලත් කර ගැනීමට බවද කියවේ.
තිසර පෙරේරා මීට පෙර අවස්ථාවක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූ ආකාරය ගැන ප්‍රශ්නයක්ද මේ වන විට මීට ඇඳි තිබේ. ඒ අදාළ සිද්ධිය අල්ලා ගත් තේරීම් කමිටු සාමාජිකයකු නව තේරීම් කමිටුවට ඇතුලත් නොකරන ලෙස යම් යම් පාර්ශව බලපෑම් කිරීමට අදාළ පිරිස මේ වන විට කටයුතු කරමින් සිටිති. එම සිද්ධියේ ද මේ වන විට සිදුව ඇත්තේ අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදු කල තැනැත්තාට එරෙහිව පියවර ගැනීම පමණක් වන අතර ක්‍රීඩකය සිදු කල වරදටද කිසියම් හෝ දඬුවම් දීමක් අවශ්‍ය බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතය වී තිබේ.
මේ අතර කිසියම් පිරිසක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය වසර දෙකක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තා අස්ථාන ගත කර ඇති බවද එම කාලය පුරා නිසි ශාරීරික යෝග්‍යතාවය රහිතව ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ඇති බවද කියවේ.
එසේම ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු තම පුතනුවන් මීළඟ තේරීම් කමිටුව හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් නව තේරීම් කමිටුව තෝරා ගැනීම සඳහා ඍජුව බලපෑම් කරමින් සිටින බවද පැවසේ.
මේ සියලු කාරනා සලකා නිසි තේරීම් කමිටුවක් ප්‍රමාදයකින් තොරව පත් කර ගැනීමෙන් තවදුරත් ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය තවදුරටත් අගාධයට යාම වලක්වා ගත හැකි වනු ඇත.

Share with your friends :