27 C
Colombo
19/01/2025

Covid – 19 එන්නත ලබාගැනීමට අප බිය විය යුතු ද ?

Share with your friends :

බෝවන රෝග වැළැක්වීම සඳහා ලෝකයේ ලාභදායක ම හා වඩාත් සාර්ථක ක්‍රමවේදය එන්නත්කරණයයි. එන්නත්කරණයේ දී අදාළ ක්ෂුද්‍ර ජීවියා හෝ එම ජීවියාගේ ජෛව කොටස් වර්ධනය විය නොහැකි තරමට දුර්වල කොට මිනිස් ශරීරයට ඇතුළු කරන අතර එමඟින් මිනිස් ශරීරය තුළ එම ක්ෂුද්ර ජීවියාට එරෙහි ව ප්‍රතිශක්තිකරණය ගොඩනඟයි. ලෝකයේ ප්‍රථම වරට සාර්ථක එන්නතක් නිපදවූයේ 1798 දී වසූරිය වසංගතයට එරෙහි ව වන අතර එමඟින් 1979 වන විට වසූරිය රෝගය ලෝකයෙන් සහමුලින් ම ඉවත් කිරීමට හැකි විය. එබැවින් වසූරියට එරෙහි ව එන්නත ලොවට හඳුන්වා දුන් ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ එඩ්වඩ් ජෙනර් “එන්නත්කරණයේ පියා” ලෙස සැලකේ. එදා පටන් අද දක්වා වසර 200 කට අධික ඉතිහාසයේ එන්නත් මඟින් ලෝකයා විවිධ බැක්ටීරියා හා වෛරසවලින් ආරක්ෂා වී ඇත.
1886 එන්නත් ආඥා පනත මඟින් වසූරිය එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීම හරහා ශ්‍රීලංකාවේ එන්නත්කරණය ආරම්භ විය. 1972 වන විට ශ්‍රී ලංකාව මුළුමනින් ම වසූරිය රෝගය තුරන් කළ රටක් බවට පත් විය. 1949 දී ක්ෂය රෝගයට එරෙහිව “BCG එන්නත” ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. 1961 දී ගලපටලය, කක්කල් කැස්ස හා පිටගැස්මට එරෙහි ව “ත්‍රිත්ව එන්නත” හඳුන්වා දුන් අතර මේ වන විට ශ්‍රීලංකාව ගලපටලය මුළුමනින් ම තුරන් කළ රටකි. එසේ ම රට තුළ අලුත උපදින දරුවන් හා ගැබිණි මව්වරුන් අතරින් පිටගැස්ම රෝගය මුළුමනින් ම තුරන් කර ඇත. 1962 වසරේ දී මෙරට “මුඛ පෝලියෝ එන්නත” ලබා දීම ආරම්භ කළ අතර 1993 දී ශ්‍රීලංකාවට පෝලියෝවලින් නිදහස් රටක් ලෙස සහතිකය ලැබුණි. 1978 දී ශ්‍රීලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන (EPI) ආරම්භ කළ අතර එමඟින් මෙරට ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙළ වඩාත් පුළුල් කරන ලදී. 1984 දී සරම්ප එන්නතත්, 1996 දී රුබෙල්ලා එන්නතත් ලබා දීම ආරම්භ කළ අතර 2001 දී සරම්ප සහ රුබෙල්ලා ඒකාබද්ධ එන්නතත්, 2003 දී සෙංගමාලයට එරෙහි Hepatitis B එන්නතත්, 2008 දී පංච සංයුජන ^Hib& එන්නතත්, 2009 දී සජීව ජැපනීස් එන්සපලයිටීස් එන්නතත්, 2011 දී සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලාවලට එරෙහි ව MMR එන්නතත්, 2017 දී මානව පැපිලෝමා වෛරසවලට එරෙහි ව HPV එන්නතත් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළේ සුවිශේෂී කඩඉම් වේ. එසේම ශ්‍රීලංකාව මේ වන විට ජැපනීස් එන්සපලයිටීස් හා සංජනන උපදංශය රෝග මුළුමනින් ම පාහේ තුරන් කිරීමට ද සමත් වී ඇත.
සංවර්ධනය වෙමින් පවතින පහළ මැදි ආදායම් රටක් වුව ද ශ්‍රී ලංකාව “ජාතික ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ” හරහා මුළු දිවයින ම ආවරණය කරන (100%) ඉහළ එන්නත් ආවරණයක් පවත්වාගෙන යාම ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, UNICEF ආයතනයේත් නිරන්තර පැසසුමට ලක්වන්නකි. විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටක් වුව ද, මුළු දිවයින පුරාම නියමිත ප්‍රමිතියෙන් එන්නත් ප්‍රවාහනයත්, ගබඩාකරණයත්, තොග හිඟයකින් තොරව නියමිත පුද්ගලයින්ට, නියමිත වෙලාවට එන්නත් ලබා දීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොවට විශිෂ්ට ගනයේ ආදර්ශයක් සපයා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශකර ඇත. එය 2030 වන විට ලෝකයේ රටවල් සපුරාගත යුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 අතරින් 3 වැන්න වන , “Universal Health Coverage” , නොහොත් “රටේ සෑම පුරවැසියෙකුට ම සෞඛ්‍ය සේවාවට ප්‍රවේශ විය හැකි වීම” යන ඉලක්කයට ළඟා වීම කි. 2014 වසරේ දී ශ්‍රීලංකාව සකස් කරගත් “ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය” හරහා ද ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ හා එන්නත්කරණ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කොට ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය වියදමෙන් 1.6% ක් පමණක් සෞඛ්‍ය සඳහා වැය කරන රටක් වුව ද, එන්නත්කරණය හා ප්‍රතිශක්තීකරණයෙහිලා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති මෙම සුවිශේෂී ජයග්‍රහණ, ශ්‍රී ලංකාව මෙන් දස ගුණයක් පමණ සෞඛ්‍ය සඳහා වියදම් කරන මැලේසියාව හා දකුණු කොරියාව වැනි රටවලට නොදෙවෙනි තත්ත්වයක් බව UNICEF ආයතනය පෙන්වා දෙයි. එසේම ශ්‍රී ලංකාවේ පාසල් පාදක ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ ද, ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වන බවත්, එයින් උගත හැකි පාඩම් බොහෝමයක් ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය අන් රටවලට නිර්දේශ කර ඇත. මෙහි සුවිශේෂීතාවය නම් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය 5% ක් තරම් අවම මට්ටමක පැවතුන ද, මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ, ජාත්‍යන්තර ආධාරවලින් තොරව මුළුමනින් ම මෙරට රජයේ වියදමින් සිදු කිරීම යි.
අවම පහසුකම් යටතේ වුව ද දිවයිනේ සෞඛ්‍ය පරිපාලන දිස්ත්‍රික්ක 26 ම ආවරණය කෙරෙන ශක්තිමත් ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් පවත්වාගෙන යාමෙහිලා සෞඛ්‍ය අමාත්‍යංශ වසංගත රෝග විද්‍යා ඒකකය නිහඬ සේවාවක් ඉටු කරයි.
ශ්‍රී ලංකාව තුළ බෝවන රෝග පාලනයේ යෙදී සිටින වසංගත රෝග විද්‍යා ඒකකය වර්තමානයේ මුහුණ දී සිටින දැවැන්ත ම අභියෝගය Covid – 19 වසංගතය පාලනය කිරීම යි. ඒ සඳහා විශාල පිරිසක් මේ මොහොත වන විටත් දිවා රෑ නොතකා වෙහෙස වන බව ඔබ අප කවුරුත් දන්නා කාරණයකි. ඒ සඳහා අස්වැසිල්ලක් වෙමින් මේ වන විට Covid – 19 සඳහා සාර්ථක එන්නත් නිපදවා ගැනීමට ලෝකය සමත් වී ඇත. 2021 පෙබරවාරි වන විට, Covid – 19 ට එරෙහි ව එන්නත් 66 ක් විවිධ සායනික පර්යේෂණ මට්ටම්වල පවතින අතර, ඒ අතරින් 3 වන සායනික මට්ටමේ පසුවන එන්නත් 9ක් සඳහා ජාතික නියාමන අධිකාරිවලින් “හදිසි භාවිතය” සඳහා අනුමැතිය ලැබී ඇත. ඒවා නම්,
1. ඇමරිකාවේ BioNTech හා ජර්මනියේ Pfizer ආයතන එක්ව නිෂ්පාදනය කළ Pfizer – BioNTech Covid-19 එන්නත.
2. ඇමරිකාවේ Moderna ආයතනය නිෂ්පාදනය කළ Moderna Covid-19 එන්නත.
3. බ්‍රිතානයේ Oxford විශ්ව විද්‍යාලය හා AstraZeneca ආයතනය එක්ව නිෂ්පාදනය කළ Oxford – AstraZeneca Covid-19 එන්නත. (Covishield)
4. ඉන්දියාවේ Bharat ආයතනය නිෂ්පාදනය කළ BBVI52 එන්නත. (Covaxin)
5. රුසියාවේ Gamaleya ආයතනය නිෂ්පාදනය කළ Sputnik V Covid-19 එන්නත.
6. රුසියාවේ Vector ආයතනය නිෂ්පාදනය කළ EpiVac Corona එන්නත.
7. චීනයේ Sinovac ආයතනය නිෂ්පාදනය කළ CoronaVac එන්නත.
8. චීනයේ CanSino ආයතනය නිෂ්පාදනය කළ Ad5-nCov එන්නත. (Convidicea)
9. චීනයේ Sinopharm ආයතනය නිෂ්පාදනය කළ BBIBP-CorV එන්නත.

සාමාන්‍යයෙන් එන්නතකට “පූර්ණ අවසරය” ලැබීම සඳහා වසර 6 – 7 ක කාලයක සායනික පර්යේෂණ සිදු කළ යුතු ය. නමුත් “හදිසි භාවිතය” යනුවෙන් අදහස් කරනුයේ වසංගතයකට එරෙහි ව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ඊට එරෙහි ව එන්නතක සම්පූර්ණ සායනික පර්යේෂණ නිමවනතුරු බලා නොසිට, ඉහළ කාර්යක්ෂමතාවයක් තහවුරු කරමින් සිටින එන්නතක් මහජනතාවට ලබා දීම සඳහා අවසර ලබා දීම යි. නමුත් “පූර්ණ භාවිතයට” අවසර ලබා ගැනීමට එහි සායනික පර්යේෂණ සම්පූර්ණයෙන් ම නිම කිරීමට සිදු වේ. මන් ද හදිසි තත්ත්වය ඉවත් කළ පසු හදිසි භාවිතයට අවසර දුන් එන්නත ද භාවිතා කිරීමට අවසර නොලැබේ.
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් 78 ක් ඉහත එන්නත්වලින් එකක් හෝ කිහිපයක් තම රටවල් තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ද ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්තවය අනුව රට තුළ පහසුවෙන් කළමනාකරණය කළ හැකි එන්නතක් ලෙස බ්‍රිතාන්‍යයේ Oxford – AstraZeneca එන්නත රට තුළ හදිසි භාවිතයට අවසර ලබා දී ඇත.
විවිධ රටවල් කොතෙකුත් එන්නත් වර්ග සොයාගනු ලැබූව ද ලෝකයට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය මුළුමනින් ම නිපදවිය හැකි එක ම රට වන්නේ ඉන්දියාව යි. ලෝකයේ අලෙවි වන සියලු එන්නත්වලින් 60% කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනුයේ ඉන්දියාවේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් මෑතක දී ප්‍රකාශ කර සිටියේ “ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන ධාරිතාවය මෙම අවස්ථාවේ දී ලෝකයට ඇති වටිනාම සම්පත” බව යි. දැනටමත් මිල අධික ෆයිසර් බයෝටෙක් එන්නත හා මොඩනා එන්නත හැර, හදිසි භාවිතයට අවසර ලැබී ඇති බොහොමයක් එන්නත් ඉන්දියාවේ නිෂ්පාදනය වෙමින් පවතී. ඒ අතර තම රටතුළ නිෂ්පාදනය කෙරෙන එන්නත්වලින් කොටසක් තම අසල්වැසි රටවලට නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝඩි විසින් දියත් කර ඇත. “Vaccine Maitri” නමින් හැඳින්වෙන මෙම වැඩපිළිවෙළ යටතේ දැනටමත් අසල්වැසි රටවල් 9 කට එන්නත් පරිත්යාග කර ඇත. ඒ යටතේ ශ්‍රීලංකාවට ද, ලොව විශාලත ම ඖෂධ නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සීරම් ආයතනය තුළ නිෂ්පාදනය කෙරෙන බ්‍රිතාන්‍යයේ Oxford – AstraZeneca (සන්නම් නාමය : Covishield) එන්නත් ලක්ෂ 5 ක් පසුගිය දා පරිත්‍යාග කෙරිනි.
මේ අතර covid – 19 එන්නත් ලෝකයේ රටවල් අතර සාධාරණ ව බෙදීයාම තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති COVAX පහසුකම යටතේ මෙරට ජනගහනයෙන් 20% ක පිරිසකට නොමිලේ එන්නත් ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට Oxford – AstraZeneca එන්නත් ලක්ෂ 84 ක් නොමිලේ ලැබෙනු ඇත. එහි පළමු අදියර වශයෙන් මෙම වසරේ මුල් භාගය තුළ එන්නත් ලක්ෂ 17 ක් ලැබීමට නියමිත ව පවතී.
මීට අමතර ව චීනයේ Sinopharm එන්නත ද, රුසියාවේ Sputnik එන්නත ද මෙරටට පරිත්යාග කිරීමට එම රජයන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කැමැත්ත පළ කර තිබුණ ද, ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තවමත් එම එන්නත් භාවිතය සඳහා අවසර ලබා දී නොමැත. කෙසේ වෙතත්, නොමිලේ ලැබෙන එන්නත් ප්‍රමාණය හැර අවශ්‍ය ඉතිරි එන්නත් ප්‍රමාණය මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැනටමත් ඉල්ලුම් කර ඇත. එන්නත් ලැබෙන පිළිවෙළ අනුව ඒවා ජනතාවට ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුවක් ද ශ්‍රීලංකාවේ කොවිඩ් මර්දන ජාතික එන්නත්කරණ සැලැස්ම යටතේ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට වයස අවුරුදු 30 ට වැඩි සෑම පුරවැසියෙකු ම මෙම වසර තුළ දී Covid – 19 එන්නත ලබාදීම මඟින් කොවිඩ් එන්නත්කරණයෙන් රට 100% ක් ආවරණය කිරීමට රජය සැලසුම් කර ඇත.

කොවිඩ් මර්දන ජාතික එන්නත්කරණ සැලැස්ම යටතේ 2021 වසර තුළ Covid – 19
එන්නත ලැබීමට සුදුසුකම් ලබන අනුපිළිවෙළ

කාණ්ඩය පුද්ගලයින් මුළු ජනගහනයෙන්
සංඛ්‍යාව % ලෙස
1. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන් 155,000 0.6%
2. ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් 127,500 0.56%
3. ඉදිරිපෙළ අධි අවදානම් රැකියාවල නියුතු අය
(උදා. ගුවන් තොටුපළ / වරාය) 15,938 0.07%
4. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 3,159,800 14%
5. අවුරුදු 55 – 59 දක්වා පුද්ගලයින් 1,178,154 5.2%
6. අවුරුදු 50 – 54 දක්වා පුද්ගලයින් 1,349,686 6%
7. අවුරුදු 45 – 49 දක්වා පුද්ගලයින් 1,424,167 6.3%
8. අවුරුදු 30 – 44 දක්වා පුද්ගලයින් 4,843,562 21.5%
12,237,869

අවුරුදු 18 ට අඩු ළමයින් සහ ගර්භණී හා කිරිදෙන මව්වරුන් මෙම එන්නත ලබා ගැනීම සඳහා සුදුසුකම් නොලබයි. ඊට හේතුව තවමත් මෙම කාණ්ඩවල අයට මෙම එන්නත අත්හදා බලා නොමැති වීම යි. ළමුන්ට සහ ගර්භණී මවුවරුන්ට එන්නත්කරණය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණ ද, මෙරට වැඩිහිටියන් සඳහා එන්නත් ව්යාපාරයක් සිදු කරනුයේ ඉතා දීර්ඝ කාලයකට පසුව ය. එය නුපුරුදු දෙයක් බැවින්, ඇතමුන් මෙම එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වයි. එන්නත පිළිබඳ ඇතැම් පිරිස් විසින් පතුරවන දුර්මත ද මේ සඳහා බලපා ඇත. සාමාන්‍යයෙන් ඕනෑ ම එන්නතක් ලබාගත් විට මද උණ, හිසරදය, අප්‍රාණික බව, ඇඟපත වේදනාව වැනි සුළු අපහසුතා ඇති විය හැකි බව වෛද්‍ය මතය යි. එමඟින් පිළිබිඹු වන්නේ ශරීරයට ඇතුළු කරන ලද වෛරස කොටස්වලට එරෙහි ව ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වී ප්‍රතිශක්තිය ගොඩනැඟෙමින් පවතින බව යි.
ජනගහනයෙන් වැඩි පිරිසක් මෙම එන්නත ලබා ගැනීම හරහා රෝගය වසංගතයක් ලෙස පැතිරීයාම වළකින අතර ම, එමඟින් එන්නත ලබා ගැනීමට නොහැකි වූ ප්‍රතිශක්තියෙන් අඩු පුද්ගලයන්ට ද ආරක්ෂාවක් සැපයේ. එය සමූහ ප්‍රතිශක්තීකරණය (Herd Immunity) ලෙස හැඳින් වේ. එබැවින් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළට සහය වී වසංගත තත්ත්වය පාලනය කිරීමට දායක වෙමු. එය අප සැමගේ ජාතික වගකීම කි. මානව සංහතියේ පැවැත්ම උදෙසා ඈත අතීතයේ සිට ම බොහෝ පිරිසක් තම දිවි දෙවැනි කොට බොහෝ කැපකිරීම් සිදුකර ඇත. 21 වන සියවසේ දී ද මුළු ලෝකය ම අඩපණ කරමින් රටවල් වසා දමමින් මිනිසුන් නිවෙස් තුළට සිරකර තබමින් නැඟී ආ Covid – 19 වෛරස වසංගතය පාලනය කර, අකාලයේ මියයන ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බේරාගැනීම සඳහා දිවා රාත්‍රී වෙහෙස වී ඉතාමත් කෙටි කාලයක් තුළ එන්නත් නිපදවීමට කැපවූ විද්‍යාඥයින් මෙන් ම, ස්වකීය වර්ගයාගේ ම ආරක්ෂාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම එන්නත් ලබාගන්නා සාමාන්‍ය මිනිසුන් ද ඉතිහාසයට එක්වන්නේ මානව ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ලෙස ය. ලෝකය සොඳුරු වන්නේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ කැපකිරීම් නිසාවෙනි.

– කලානි පොතුපිටිය –

Share with your friends :