27 C
Colombo
18/01/2025

නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා පිරිසක් අධිකරණයට – නාමල්ටත් නොතීසි

Share with your friends :

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවය. ඒ අනුව ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බවත්, එබැවින්, ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලන ලෙසත් මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු 12 දෙනෙකු විසිනි.
අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ කැදවිණි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බැවින්, මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.එබැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් ට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා ඇත.
මෙම පෙත්සම ලබන මාර්තු 15 වැනිදා කැඳවේ.

Share with your friends :