27 C
Colombo
18/01/2025

ක්‍රිකට් තේරීම් කමිටුව තවම නැහැ- කමිටුව තෝරන්න යුද්ධයක් – කොදෙව් සංචාරය 22

Share with your friends :

ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පත් කිරීමට යෝජනාවී ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න ඒ සඳහා පත් කිරීම ප්‍රමාද කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ජාතික ක්‍රීඩා කමිටුවේ ඇතැම් සාමාජිකයන් බලපෑම් කරමින් සිටින බව ශ්‍රීලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.මේ හේතුවෙන් ලබන 22 වැනිදා ආරම්භවන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට තවමත් ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නම් කරන්නට නොහැකිවී තිබේ.
මේ සඳහා මුලික වී ඇත්තේ ක්‍රිකට් ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධතා ඇති, දේශපාලනයටද සම්බන්ධ පවුලක සාමාජිකයන් කීපදෙනෙකු,ව්‍යාපාරිකයෙකු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙකි. මෙම ව්‍යාපාරිකයා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාර සිදු කරන ප්‍රබල ව්‍යාපාරිකයෙකි. එසේම දැනට පුහුණුකරු තනතුරක් දරන හිටපු නායකයකුද මේ පිරිස සමග සම්බන්ධවී සිටිති. මෙම පිරිස අදාළ තේරීම් කමිටුව පත් නොකරන්නට දේශපාලන බල අධිකාරියට හා විවිධ පාර්ශව වෙත දිගින් දිගටම බලපෑම් කරමින් සිටිති. මීට පෙර තිබු ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි සාමාජිකයකු හරහා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් වලට ඍජු බලපෑමක් සිදු කිරීමට මොවුන් කටයුතු කර තිබු අතර නව තේරීම් කමිටුවේ තමන්ට බලපෑම් කල හැකි පුද්ගලයකු නොමැතිවීම මේ පිරිසට ගැටළුවක් වී තිබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න ඒ සඳහා නම් කිරීමත් සමග අදාළ තේරීම් සඳහා මැදිහත්වීමට නොහැකිවීම මේ පිරිසට ඇති ගැටලුවයි.
මේ හේතුවෙන් අදාළ පිරිස මුලිකවී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව හරහා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස පත් කරන ලෙස ඉල්ලමින් තවත් හිටපු ක්‍රීඩකයන් තිදෙනෙකුගේ නම් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලදී. අමල් සිල්වා , බ්‍රෙන්ඩන් කුරුප්පු හා කපිල විජේගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් එසේ එවා තිබිණි. ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය අදාළ නම් තුනද කලින් නම් කල තිදෙනා ගේ නම්ද සමග ක්‍රිකට් ක්‍රීඩා උපදේශක කමිටුව වෙත යවන ලදී.
එම කමිටුව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට පත් කල කමිටුවයි. අරවින්ද ද සිල්වා ,මුත්තයියා මුරලිදරන් ,රොෂාන් මහානාම සහ කුමාර සංඝක්කාර කමිටුවට අයත් වෙති. එම කමිටුව වෙත ඉහත නම් හයම යොමු කල විට අදාල් කමිටුව විසින්ද ස්ථිර කරන ලද්දේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන නම් තුනය.
මේ අතර රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ ඉහලම දේශපාලනඥයෙකුට නිරන්තරයෙන් බලපෑම් කරමින් සිටින්නේ මේ කමිටුව සඳහා හිටපු තේරීම් කමිටුවක සාමාජිකයකු ඇතුලත් කර ගැනීමටය. ඒ තමන්ගේ ගෝල බාලයන් කණ්ඩායමට ඇතුලත් කර ගැනීමට බවද කියති.
තිසර පෙරේරා මීට පෙර අවස්ථාවක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූ ආකාරය ගැන ප්‍රශ්නයක්ද මේ වන විට මීට ඇඳි තිබේ. ඒ අදාළ සිද්ධිය අල්ලා ගත් තේරීම් කමිටු සාමාජිකයකු නව තේරීම් කමිටුවට ඇතුලත් නොකරන ලෙස යම් යම් පාර්ශව බලපෑම් කිරීමට අදාළ පිරිස මේ වන විට කටයුතු කරමින් සිටිති. එම සිද්ධියේ ද මේ වන විට සිදුව ඇත්තේ අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදු කල තැනැත්තාට එරෙහිව පියවර ගැනීම පමණි. අදාල සිද්ධියට සම්බන්ධ පාර්ශව දෙකම මීට වැරදිකරුවන් වෙද්දී එක පාර්ශවයකට පමණක් එරෙහිව කටයුතු කිරීම කැකිල්ලේ තීන්දුවකි. මේ අතර කිසියම් පිරිසක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය වසර දෙකක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තා අස්ථාන ගත කර තිබේ. එයින් පෙනී යන්නේ එම කාලය පුරා නිසි ශාරීරික යෝග්‍යතාවය රහිතව ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ඇති බවයි.
එසේම ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු තම පුතනුවන් මීළඟ තේරීම් කමිටුව හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවේ. ඔහුද නව තේරීම් කමිටුව තෝරා ගැනීම සඳහා ඍජුව බලපෑම් කරමින් සිටී.
මේ නිසා මේ දිනවල මේ කමිටුව පත් කිරීමේ සිද්ධිවලට අදාළ පිරිස් නිරන්තරයෙන් දිවා ආහාර හා රාත්‍රී ආහාර භෝජන සම්භාෂණ සඳහා සහභාගිවෙමින් සිටිති.
මේ සියලු කාරනා නිසා තේරීම් කමිටුව ප්‍රමාද වීම තවදුරත් ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය තවදුරටත් අගාධයට හෙලීමකි. කොදෙව් සංචාරය සඳහා කණ්ඩායම ප්‍රමාද වීම නිසා ක්‍රීඩකයන්ද , පුහුණුකරුවන්ද දැඩි අපහසුවට පත්ව සිටිති. මෙවන් තත්වයන් තුල තරග පරාජයන් අරුමයක්ද නොවේ.

Share with your friends :