27 C
Colombo
18/01/2025

දරුවන් හිංසාවට ලක් කල නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්-කණ පැලූ සිසුවාට වන්දි

Share with your friends :

විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට පත් කළ යුතු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කලේ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරමිනි. සිසුවාගේ ශ්‍රවණ හැකියාව ජීවිත කාලය පුරාම අහිමි වී ඇති බැවින් එය බරපතළ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අධිකරණ තීන්දුවේ දැක්වේ.
2017 වසරේ පෙබරවාරි මස 13වන දා වගඋත්තරකාර ගුරුවරයා මෙම දරුවාගේ මුහුණට පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වූ බවත් මේ තුළින් අදාළ ශිෂ්‍යයාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි
එසේම වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් ය.
අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන් අද (12) දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ එම සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට පත් කළ යුතු නැතැයි යන්න අවධාරණය කරමින් මෙම වන්දි මුදල් නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහර දීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය මගින් සහතික කර කෲර වධ හිංසාවලට ලක් නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි තීරණය කර තිබේ.
හේවා මද්දුමගේ කරුණාපාල සහ පල්ලේ කම්කානම්ලාගේ දෝන කුමුදුනී යන මහත්ම මහත්මීන් විසින් ඔවුන්ගේ 15 හැවිරිදි දරුවා වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන , එම විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ලීලාවතී යන මහත්ම මහත්මීන් ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

Share with your friends :