27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකන් සභාපති අශෝක්ගේ අශෝභන හැසිරීම ගැන ඇමති ප්‍රසන්නගෙන් ජනපතිට පැමිණිලි

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ අශෝබන හැසිරීම සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්ය මණ්ඩලය සඳහා ගුවන්ගමන් වලදී ලබා දෙන ආහාර දීමනා අත්හිටුවීම සම්බන්ධයෙන් ගුවන් යානා කාර්ය මණ්ඩල වෘත්තීය සමිති විසින් පසුගිය දිනයක ඇමතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර සභාපතිවරයා විසින් ඇමතිවරයාට අශෝභන ලෙස කතා කිරීම සම්බන්ධයෙනි. ඇමතිවරයා සහ සේවක වෘත්තීය සමිති අතර පැවති මෙම සාකච්ඡාවේදී සභාපතිවරයාගේ දුරකතනයට කතා කල ඇමතිවරයා සේවක ප්‍රශ්න සභාපතිවරයාට යොමු කර ඇත්තේ සේවකයන්ටද සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ලබා දෙන පිළිතුරු ඇසෙන්නට සලස්වමිනි. මෙහිදී සභාපතිවරයා අවේගශීලීව කතා කරමින් ” මට ඕක ගැන කතා කරන්න එපා , Meal Allowance ගැන කතා කරන්න එපා , මට තරහ යනවා ,මම අහවලාටත් කිව්වා …ඒක නිසා මාත් එක්ක ඕක ගැන කතා කරන්න එන්න එපා ” යනුවෙන් කෑගසා තිබේ. මෙහිදී ඇමතිවරයා පවසා ඇත්තේ ” ඔයා කවුරු වුනත් කමක් නැහැ, මේක ඔයාගේ පුද්ගලික ආයතනයක් කියල හිතන්න එපා, ශ්‍රීලංකන් එයාර් ලයින්ස් දුවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් , ආණ්ඩුවෙන් ණය අර ගෙන , ඒක නිසා අපි ජනතා නියෝජිතයෝ විදිහට වෘත්තීය සමිති වලට , සේවක ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න ඕන, මේවා රාජ්‍ය ආයතන, ඒ නිසා ජනතාවට සේවකයන්ට වගකීමෙන් වැඩකරන්න, ජනතාව මේ රජය පත් කලේ ඒකට , ඒක හොඳට මතක තියා ගෙන වැඩකරන්න ” යනුවෙනි. පසුව ඇමතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්ය මණ්ඩලය පවසන්නේ වර්තමාන සභාපතිවරයා එම තනතුරට පත්වූ පසු විසින් තම ගුවන් ගමන් ආහාර දීමනාව සහ රාත්‍රී සේවා දීමනාව නවතා දමා ඇති බවයි. ගුවන් ගමන් කාලය තුල උදැසන ආහාර වේල,දහවල් ආහාර වෙලා සහ රාත්‍රී ආහාර වේල් සඳහා ඩොලර් විසි පහක දීමනාවක් හා රාත්‍රී සේවා දීමනාව ලෙස ඩොලර් 18 ක් ගුවන් යානා කාර්ය මණ්ඩල සඳහා මීට පෙර ගෙවා තිබිණි. මෙය ඉතාම අසාධාරණ බවත් මේ නිසා තමන්ට අවශ්‍ය ආහාර වර්ග ලබා ගැනීමට සේවකයන්ට නොහැකිවී ඇති බවත් ගුවන් සේවකයෝ පවසති.
පසුගිය කාලය තුල ගුවන් යානා ඉන්ධන මිල අඩු මට්ටමක පැවතීම, සේවක දීමනා කපා හැරීම , කොන්ත්‍රාත් සේවකයන් ඉවත් කිරීම , ගුවන් ටිකට් පත් ඉහල මිලට විකිණීම , එසේ ලැබෙන මුදල් ගුවන් ගමන් සිදු කරන්නට පෙරම ආයතනයේ ගිණුම් වලට බැර වීම වැනි කාරණා තුලින් ගුවන් සේවය විශාල මුදලක් ඉතිරි කර තිබියදීත් එය දිගින් දිගටම සාමාන්‍ය පරිදි රජයේ අරමුදල් ලබා ගැනීම සිදු කරයි.

Share with your friends :