27 C
Colombo
19/01/2025

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනපති ගෝඨාභයට ආයාචනයක්-නිවෙස් නිරෝධායනය ඉල්ලයි

Share with your friends :

විදේශ රටවලදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට එය පදනම් කරගෙන නිරෝධායන ක්‍රමවේදයෙන් නිදහස් කිරීම හෝ අවශ්‍ය නම් තම නිවෙස් වලදීම නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙස ලොව පුරා රටවල් රැසක වාසය කරන ශ්‍රීලාංකික ජනතාව රජයෙන් ඉල්ලා සිටිති. මේ පිරිස අතර විදෙස් රටවල රැකියා කරන ශ්‍රීලාංකික පුරවැසියන්, ශ්‍රීලංකාවේ උපත ලබා වෙනත් රටවලට ගොස් මේ වන විට එම රටවල පුරවැසි භාවය දරන පිරිස් ද , ශ්‍රීලංකාවේ සහ තවත් රටවල ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ද වෙති.
මේ අතර මැද පෙරදිග ශ්‍රීලාංකිකයන්ගේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ විදේශයකදී කොවිඩ් එන්නත පූර්ණ වශයෙන් ලබාගන්නා ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනය හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තම නිවසේදීම නිරෝධායනය වීම සඳහා ඉඩ ලබාදෙන ලෙසය.
මැද පෙරදිග ශ්‍රී ලාංකික එකමුතුවේ නියෝජිතයින් අදාළ ලිපියේ පිටපතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් සිල්වා වෙතද භාර දී ඇත.
අද වනවිට කොවිඩ් වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගැනීමට මැදපෙරදිග කලාපයේ රටවලට හැකියාව ලැබී ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු නේවාසිකයින්ට එරට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර මෙම තත්ත්වය යටතේ වසරක සේවා කාලයකින් පසුව තමන්ට හිමි වන දින 28 ක නිවාඩුව සඳහා මෙරටට පැමිණ සිය නිවෙස්වල ගත කිරීමට ඉඩ සලසා දෙන ලෙසත් මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ අතර යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ආදී රටවල දීර්ගකාලීනව ජීවත්වන බොහෝ පිරිස් මේ වන විට එම රටවල පුරවැසිභාවය ලබා ගෙන ඇති නමුත් ඒ අතරින් බහුතරයක නිවාස හා දේපල ශ්‍රීලංකාවේ පවතී. එසේම ඒ අයගේ ඥාති මිත්‍රාදීන් බැලීමට වාර්ෂිකව මේ පිරිස් ශ්‍රීලංකාවට පැමිණෙන අතර ඔවුන්ට මුදල් එවීම හා වාර්ෂිකව ශ්‍රීලංකාවට පැමිණීම ආදී හේතු නිසා ඔවුන්ගෙන් ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල පිටිවහලක් ලැබේ. මේ නිසා මේ සියලු දෙනා හට පොදු වැඩපිළිවෙලක් සැලසුම් කර ශ්‍රීලංකාව වෙත පැමිණීමට ඉඩ ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

Share with your friends :