27 C
Colombo
19/01/2025

නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය ගැන ජපන් රජයේ කනස්සල්ල- කල උදව් මතක් කරදෙයි

Share with your friends :

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන බව ජපානය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රීලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.
නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර දින දෙකකට පසු ඊට ප්‍රතිචාර දක්වමින් ජපානය ඒ බව ප්‍රකාශ කර ඇත.
නැගෙනහිර ජැටියේ ප්‍රශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
ජපාන තානාපතිවරයා මෙලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇත්තේ ඊට පසුවය.
දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු-ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි ජපානය අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට බව ජපාන රජයේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියකු පවසා ඇත්තේ
“ජපානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුවා,
නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් ඒකපාර්ශවීය කැබිනට් තීරණය ඉතා කනගාටුදායකයි.ජපානය ශ්‍රී ලංකාවට ණය වශයෙන් යෙන් ට්‍රිලියන 1.1ක් ලබා දී තිබෙන අතර මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ආධාර, ප්‍රදාන සහ තාක්ෂණික ආධාර වශයෙන් යෙන් බිලියන 300කට ආසන්න මුදලක් ලබා දී තිබේ. එවැනි තත්ත්වයක් තුළ ජපානය, ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය අපේක්ෂා කලේ නැත.නැගෙනහිර පර්යන්තයට අනෙක් පස තිබෙන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේන්ර් ටර්මිනල් – සී.අයි.සී.ටී) ක්‍රියාත්මක වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති හවුල් ව්‍යාපාරයක් ලෙසය. ශ්‍රීලංකා රජය ඉන්දියාවට සහ ජපානයට ද ඒ අයුරින් සලකනු ඇතැයි ජපානය අපේක්ෂා කළා ” යනුවෙනි.
කොළඹ නගරයේ තදබදය අඩු කිරීමේ අරමුණින් ජපාන රජයේ ණය ආධාර මත ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබු සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය අතරමගදී අවලංගු කිරීම නිසාද ශ්‍රීලංකා රජය හා ජපාන රජය අතර මතභේදයක් පසුගිය මාස කීපය පුරා හටගෙන තිබිණි.

Share with your friends :