27 C
Colombo
19/01/2025

නැගෙනහිර පර්යන්තය කිසිවෙකුට ලබා නොදෙන බව මහින්ද වෘත්තීය සමිති වලට කියයි

Share with your friends :

වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමග පැවති සාකච්ඡාවේ දී පවසා තිබේ.
එම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නායකයින් නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
තමාගේ වසර 50ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර, එය කිසිදිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත් තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටුකරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
අගමැතිවරයා ලෙස තමා රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් තමා ගන්නා තීරණ සාකච්ඡාවලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.
අගමැතිවරයා විසින් ලබා දී ඇති මෙම පොරොන්දුව පිළිබඳව හෙට දිනයේ නිල නිවේදනය එන තෙක් අකුරට වැඩකිරීමේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බවද වරාය වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

Share with your friends :