27 C
Colombo
19/01/2025

නාන කාමර කට්ටල-ටයිල් දැවැන්ත හිඟයක්-මිල තුන්ගුණයකින් නගී-ලක්ෂ පහකට රැකියා අහිමිවෙලා

Share with your friends :

විදෙස් රටවලින් නාන කාමර කට්ටල හෝ උපාංග ආනයනය තහනම් කිරීම නිසා එම කර්මාන්තයේ සහ ඊට අදාල ක්ෂේත්‍රවල රැකියාවල නියුතු ලක්ෂ පහක පමණ පිරිසක් ආදායම් මාර්ග අහිමිවී දැඩි ලෙස අසරණව සිටිති. එසේම එම භාණ්ඩවල දැඩි හිඟයක්ද රට තුල ඇතිවී තිබේ. මේ හේතුවෙන් රටපුරා එම භාණ්ඩ අලෙවිසල් දහස් ගනනක් වැසී යමින් පවතී.මේ තත්වය මත ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ ගනනක් දරු පවුල් අසරණ වී ඇත. ශ්‍රීලංකාවේ මේවා සුළු වශයෙන් නිෂ්පාදනය වුවද එය මෙරට ඇති ඉල්ලුමෙන් සියයට දහයකටවත් ප්‍රමාණවත් නොවේ. එසේම ශ්‍රීලංකාවේ එම නිෂ්පාදන මිල ගණන් ඒවායේ සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිවීම නිසා ජනතාවට එම මිල දරා ගැනීමට අපහසු වී තිබේ.
එසේම ආනයනික ටයිල් වර්ග සඳහා බදු වැඩි කිරීම නිසා එම ටයිල් මේ වන විට ශ්‍රීලංකාව වෙත ආනයනය නොකෙරෙන අතර ඒ හේතුවෙන් රෝයල් සෙරමික්ස් සහ ලංකා ටයිල්ස් වෙත ටයිල් ඒකාධිකාරයක් හිමිවී තිබේ. මේ ටයිල් සමාගම් දෙකේම හිමිකරු වන්නේ ධම්මික පෙරේරා මහතාය. මේ වන විට අදාළ ටයිල් සමාගම් තම මිල ගණන් අසාධාරණ ලෙස විශාල වශයෙන් වැඩි කර තිබේ.
මේ නිසා වහාම මේ ගැන සොයා බලා මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙස අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති. එසේ නොවුනහොත් එම ක්ෂේත්‍රයේ දැනට ඉතිරිව ඇති ව්‍යාපාර කීපය පවා ඉදිරි මාස දෙක තුල වැසී යනු ඇතැයි සඳහන්ය.
ඩොලරයේ මිල ඉහල යාම පාලනය කර ගැනීම සඳහා රජය විසින් පනවා ඇති ආනයනය පාලනය හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක වෙළඳුන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටින අතර පාරිභෝගිකයන්ටද විශාල වශයෙන් වැඩි මුදලක් අදාල භාණ්ඩ සඳහා ගෙවීමට සිදුව තිබේ. මේ නිසා දේශීයව නිපදවන භාණ්ඩ සඳහා නිෂ්පාදන වියදම සැලකිල්ලට ගෙන වහාම මිල පාලනයක්ද මෙම ක්ෂේත්‍රවල ඇති කල යුතුව තිබේ.

Share with your friends :