27 C
Colombo
19/01/2025

ඉන්දියාවෙන් ලැබුණු කොවිඩ් එන්නත් ජනපති කටුනායකදී භාර ගනී

Share with your friends :

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය .
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර , ඒවා බාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.
රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් එම කටයුතු සිදුකෙරෙන අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත්, කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධවන ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට යෝජිතය.එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබා දෙනු ඇත.

Share with your friends :