කලා ඔයේත් මල්වතු ඔයෙන් රැළ නගන්නේ පෙම් පුවතකි. වන ලැහැබ් පර්වත, ගල්ලෙන් පවා ඒ පෙම් පුරාවත මුමුණයි. අනුරාධපුරයට වඩා එහි පර්යන්තයේ අදත් සාලිය මාලා යශෝගීය රැවිදෙයි. ඒ තරමටම ඒ පෙම්වතුන්ගේ ප්‍රේමනීය කතාන්තරයත් ජනතා සේවාවත් පරිසරයට හා ජනජීවිතයට කාවැදී ඇති සැටියකි. ජනතාව නැවත සාලිය මාලාට පණ දෙන්නැයි ඉල්ලන්නේ නැත. ඒත් ඒ මතක සටහන් ඔස්සේ ගොඩනැගී ඇති ජාතික උරුමයට පණ දෙන්නැයි ඉල්ලති.
සාලිය – මාලා ප්‍රේම වෘත්තාන්තය හා බැඳුණු සුවිශේෂී ඓතිහාසික සිද්ධස්ථානයක් වන ඉහළ පුලියන්කුලම විළඳගොඩ ආරණ්‍ය පුරාවස්තු තවමත් වල්වැදෙමින් පවතී. අනුරාධපුර රාජධානියේ නැගෙනහිර පොලොන්නරුව වූ අතර දකුණ නදුන්නරුව විය. එනම් කලාඔයෙන් එපිට පුත්තලම දෙසට ඇදෙන කොටස ය. එදා පුත්තලමක් නොවී ය: එය නදුන්නරුවයි.
නදුන්නරුව ද අනුරාධපුර රාජධානියේ සශ්‍රීකම කොටසකි. එය කෙත්බිම්, වනබිම් හා පර්වත ආදියෙන් යුත්ත විසිතුරු වූ ද ගුප්ත වූ ද භූගොලීය වටපිටාවක් විය. මෙරට රාජාවලියේ විරුවාණන් ලෙස විරුදාවලියට පත් දුටුගැමුණු මහ රජුගේ පුත් සාලිය කුමාරයා තහනම් විවාහයක් කරගැනීම නිසා ඔහුට රාජ මාළිගය හැරදා බිරිය හා පළායාමට සිදුවිය. රජ කිරුළ වෙනුවට පෙම්වතිය තෝරාගත් සාලිය පලාගොස් ඇත්තේ වයඹ පළාතේ ආරක්ෂිත ස්ථානයකට ය. රාජාංගණය පෙදෙස තුළ ඔවුන් සැඟව සිටියේ යැයිද, තවත් තැනෙක දිගදුරු කන්ද පෙදෙසේ පදිංචිව සිටියේ යැයි ද ජනප්‍රවාද වල විවිධ අදහස් පවතී. අනුරාධපුර පුත්තලම් පාරේ ඉහළපුලියන්කුලම හන්දියෙන් හැරී, පහළ පුලියක්කුළම හරහා යන වර්තමාන විළඳගොඩ හෙවත් වීරන්දගොඩ ආරක්ෂිත ගල් ගුහාවන්ගේ මේ පෙම් යුවළ රැඳීසිටි බව කලාඔය ආශ්‍රිත මේ ගම්මානවල ජනශ්‍රැතියේ කියැවේ.
විළඳගොඩ විහාරය දුටුගැමුණු ඉතිහාසයෙන් ආරම්භ වන්නක් නමුදු ධාතුසේන රජුගේ යුගයේ (ක්‍රි:ව:455-473) කරවූ සල්වානා වෙහෙර ලෙස ද ඉතිහාසයට එක්ව තිබේ.
වර්තමානයේ එය ‘විළඳගොඩ පුරාණ සල්වානා විහාර ආරණ්‍යය‘ වේ. අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමඟ වල්වැදුණු සල්වානා වෙහෙර ප්‍රදේශයට ජනතාව ළඟාවන්නේ 1818 කැරැල්ලෙන් පසුව ය. උඩරටින් පළා ආ පිරිස් වලින් පවුල් හතරක් පමණදෙනා අප්‍රකටම පුලියන්කුලම ගම්මානයේ පදිංචිවූහ. වනයේ සැඟවුණු මේ අපූරු පිංබිම ඔවුන් එදා හඳුණාගත් අතර ඒ පිළිබඳව මුඛ පරම්පරාවෙන් පැවැත ආ තොරතුරු ද ගලපා ගත් හ. පහළ පුලියක්කුලම ගම්මානයේ පදිංචි ඒ.එම්. දයානන්ද (62) මහතාගේ මුත්තණුවන් මේ ඉතිහාසය කටපාඩමින් කියා තිබේ. ඒ මුත්තණුවන් හෝ සමකාලීනයන් අද නැති අතර ඒ කතා වල වටිනා කොටස් දයානන්ද මහතාට තවමත් මතක ය.
‘‘අපි කවුරුත් දන්නවා සාලිය විවාහකරගත් මාලා අයත් කුල පරම්පරාවට ඒ කාලේ හැටියට බිසවික් වීමේ වරම නෑ කියලා. රාජ උදහසට, දඬුවමට ලක්වන්නට කලින් සාලිය කුමාරයා එම කාන්තාවත් සමඟ පලා ආවේ මේ පලාතට. මෙහෙ ආරක්ෂිත ස්ථානයක් නිසා එන්නට ඇති. ඒ වනවිට මේ පළාත පාලනය භාරව ඉඳලා තිබෙන්නේ නීලමහ යෝධයා. සාලිය කුමරුගේ විස්තරය නීල මහා යෝධයාට සැලවුණත් ඔහු මහ රජුගේ නියෝගය පරිදි කුමාරයාව සොයා දෙන්නට එකවර ඉදිරිපත් වුණේ නෑ. සාලිය කුමාරයා සොයා දෙන්නට නම් තමන් වරයක් ඉල්ලා සිටින බව නීල මහා යෝධයා ප්‍රකාශකර තිබෙනවා. රජ්ජුරුවෝ ඒ වරය කුමක්දැයි විමසන විට නීල මහා යෝධයා කියා ඇත්තේ කුමරුන් සොයාදුනහොත් කුමරුට දඬුවම් හිරිහැර කිසිත් නොකරන ලෙස යි. රජතුමා ඒකට එකඟ වුණා.
තමන්ගේ බලප්‍රදේශයේ තිබෙන සාල වනයේ ගල්ගුහාවක කුමරු සැඟව සිටින බව යෝධයා කියා සිටියා. දුටුගැමුණු මහ රජතුමා තනියම අසුපිටින් වහා පැමිණියා. ඒ එන මඟ ඒ කියන්නේ අදත් තිබෙන මේ පහළ වෙල්යායේ දී රජුට ක්ලාන්ත ගතියක් දැනිලා. ඒ වෙහෙස නිසා. පසුව වෙහෙස නිවාගත් රජතුමා තමන් රැගෙන ආ විළඳ තොගයක් අරන් සාලවනයට ඇතුල්වෙලා. පුතා මුණගැහිලා බොහෝවේලා සාකච්ඡාකරලත් ඔහු තහනම් විවාහය අත්හැර අනාගත රජකම ලබාගන්නට කැමති වෙලා නෑ.
ඒ වෙලාවේ දී ඇතිවූ බහින්බස් වීමෙන් රජතුමා රැගෙන ගිය විළඳ තොගය ගල් පර්වතයක් මත ගොඩගසාදමා ගියාලු. එදා පටන් මේ ස්ථානයට විළඳගොඩ ලෙස නම්කරලා තිබෙනවා. රජතුමා අවසාන වශයෙන් කුමාරයාට කියා ඇත්තේ මේ ප්‍රදේශයේ වාසය කළාට කමක් නැහැ , පළාතේ තිබෙන වැව් අමුණු වෙහෙර විහාර දියුණු කරන්න කියලා. ඊට පස්සේ තමා මේ පන්සල මුලින් හැදෙන්නට ඇත්තේ. එහි පසුකාලීනව මහරහතන් වහන්සේලා වැඩසිටි ගල්ලෙන් 64ක් තිබෙනවා. නීල මහා යෝධයා රජතුමාගෙන් අර වගේ වරමක් ඉල්ලන්නට ඇත්තේ සාලිය හෝ ඒ ජෝඩුවම මහජනතාව සමඟ හොඳින් සිටි නිසා වෙන්නට පුලුවන්. පසු කාලයේ ඒ අය හදාපු වැව් අමුණු වෙහෙර විහාර තමා මේ හැම තැනකම තිබෙන්නේ.‘‘ යි දයානන්ද මහතා විස්තර කළේ ය.
1911-12 වර්ෂවලට අයත් ලංකාවේ පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවේ සල්වානා වෙහෙර ගැන මුල්ම සඳහන වේ. එඩ්වඩ් මුලර් විසින් ලියන ලද පුරාතන ලංකාවේ ශිලා ලිපි ග්‍රන්ථයේ ද මේ ගැන සඳහන් ය. සාලිය කුමරු පිළිබඳ ජනප්‍රවාදය ද එහි සඳහන් කර ඇති මුලර් මෙම ස්ථානයේ ඇති ශිලා ලිපි වලින් දෙකක් ද දක්වා ඇත. 1966 මුලින් ම මෙම ස්ථානයට වැඩම කළ පුරාවිද්‍ය චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ මෙම භූමියේ පැතිර ඇති නටබුන් රාශියක් ගැන දක්වයි. ‘‘මෙහි ස්ථූප දෙකක ගොඩැලි දක්නට ලැබේ. මේවා හාරා විනාශකර ඇත. මින් එක ගොඩනැගිල්ලක් අඩි අඩි 15කට වඩා උස් නොවේ. 1966 දි මා මුලින් ම එන විට එම දාගැබේ අලුතින්ම වලක් හාරා තිබෙනු දුටුවෙමි. එය නිධන් හොරුන්ගේ වැඩක් බව පැහැදිලි ය…..‘‘ ආදී වශයෙන් මේධානන්ද හිමියන් ලියූ‘‘පාචීන පස්ස- උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය ‘‘ ග්‍රන්ථයේ සඳහන් වේ.
සිංහල රජ සමයේ සිට විවිධ ආක්‍රමණ වලින් හා අඛණ්ඩව වල්වැදෙමින් ද ත්‍රස්තවාදි යුධ සමයේ දෙපාර්ශවයේම විනාශයන් මගින් ද නිධන් හොරුන්ගේ ක්‍රියාකාරකම් නිසා ද අද දක්වාම විනාශයෙන් විනාශයට ඇදෙන පුරාවස්තු යම් රැකවරණයක පහස ලබන්නේ මීට දසකයකට පෙර දොළුකන්දේ හාමුදුරුවන් නමින් ප්‍රකට පූජ්‍ය අනුරාධපුර නන්දවිමල නාහිමියන්ගේ ආගමනයත් සමඟ ය. එහි ගල්ලෙන් කිහිපයක් එළිපෙහෙලිකර යම් සංවර්ධනයක හා සංරක්ෂණයක අවශ්‍යතාවය ඉටුකර යළි එය පුදබිමක් බවට පත්කර තිබේ. වෙසෙසින්ම එය අද ආරණ්‍ය සේනාසනයකි. 2012 වසර වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහාය ලබාගෙන බොහෝ සංරක්ෂණයක් සිදුකිරීමට උන්වහන්සේ සමත් ව ඇති අතර සංරක්ෂණය කර ඇති අල්පයට වඩා සංරක්ෂණය කළ යුතු කොටස අතිශය දැවැන්ත ය. බිමට පතිතකර විනාශකර ඇති දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කිරීම උන්වහන්සේගේ එක ඉල්ලීමකි.
නන්දවිමල නාහිමියන් පෙන්වා දෙන ආකාරයට මේ පුදබිම අනුරාධපුර අටමස්ථානයේ සිද්ධස්ථාන තරමටම විශාල ගොඩනගිලි සහිත ආරාම භූමියකි.
‘‘ එක පැත්තක සාලිය කුමාරයා සැඟව සිටියා යි කියන ගුහාව තිබෙනවා. ඉතිහාස කතාවේ හැටියට පිය රජු සාලිය කුමාරයා බලන්න පැමිණ අවස්ථාවේ විළඳ හා මී පැණි පැළිගැන්වූ ස්ථානය ලෙස විළඳ ගොඩ යන නාමය හැදිලා තිබෙනවා. පෙරළා රාජ මාළිගාවට ගිය රජතුමා කුමරුට ගැල් පන්සීයක වස්තුව එවා වෙහෙර විහාර කරවා ප්‍රදේශය සංවර්ධනය කරන්නැයි කියා තිබෙනවා. සල්වානා වෙහෙර වුණේ ධාතුසේන රජකාලේ දී. ධාතු සේන රජු වෙහෙර විහාර 18ක් කරවූ බවත් ඉන් එකක් සල්වානා වෙහෙර බවත් ඉතිහාසයේ සඳහන්වෙනවා. ඒ අතර ගල් කණුමත ඉදිකළ විහාර ගෙයක්. ලෙන් ප්‍රාසාද විහාරයක්, අඩි දහස් ගණන් දිවෙන දීර්ඝ ප්‍රාකාර බැම්මක කොටස්, සඳකඩ පහන් , සත්මහල් උපෝසථාඝරයක් ආදී නගරයක් තරම් විශාල පුරාවිද්‍යා සංකීර්ණයක් මේ. සත් මහල් ප්‍රාසාදයේ ගල්කණු ශේෂ වූ පාදමට අනුව මහ රහතන් වහන්සේ දහසක් පමණ දෙනා විනය කර්ම සඳහා එම ගොඩනැගිල්ල යොදාගත් බව අනුමානකළ හැකියි. ලෝවාමහාපායේ වැනි ගල්කනු පෙළක් අදත් එහි තිබෙනවා. උපෝසථාඝරයට ඊශාන දෙසින් ගිණිගල් පොකුණ. එය අඩි 120යි 80ක් පමණ විශාලයි. ඊට නැගෙනහිරින් උතුරු සෑය. සාලිය පොකුණ කියා සාලිය හා මාලා දිය නෑමට භාවිත කළ බවකියන පොකුණ තිබෙනවා. ඒවා දියට බැසීමට පියගැට සහිතව අලංකාරව නිර්මාණය කළ නිර්මාණ. අදත් නෙළුම් මලින් පිරුණු පොකුණු දකින්න පුළුවන්. නාග පොකුණ කියා ද පොකුණක් තිබෙනවා. සේරම පොකුණු හතක්. සාලිය ගුහාව ඇත්තේ නාග පොකුණින් උතුරට ගියවිට. ඒ සඳහා යන පාර ඇත්තේ ස්වභාවික ගල් දොරටුවකින්. ඉන් එපිටට ගියාම ලොව විශ්මිතම බැලුම්ගලක් තිබෙනවා. එහි බිත්තියේ අඳින ලද චිත්‍ර අලි ඇතුන් පිට ඇතිල්ලීම නිසා මැකීගොසින්. මේ පරිසරය සිසිල් වන්නේ වැව් 13කින්. විළඳගොඩ මහ වැව තරමක් වපසරියක් ඇති එකක්. ටැම් පිට විහාරයක්, බෝධිඝරයක් හා ගල් පිළිම ආදිය මෙහි තවත් ඇති දේවල්. අඩි 18ක් උස පිළිමය මෑත යුගයේ ද තිබුණු එකක් බව ගැමියන් කියනවා. එය පෙරළලා හිස කඩා තිබෙනවා. දැන් එය පොලවට යටවෙලා. බැද්ද වැහිලා. ඉක්මනින්ම ඒ පිළිමය කෙලින්කර සංරක්ෂණය කරන්න අවශ්‍යයි. ‘‘ යි නාහිමියෝ පැවැසූහ.
බෞද්ධ සැදැහවතුන්ට මෙය ජීවමාන පුදබිමක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට නාහිමියෝ වෑයම් කරති. භාවනා යෝගී භික්ෂූන් පිරිසක් මෙහි ගල්ලෙන් තුළ වාසය කරන අතර පැමිණෙන ඕනෑම ගිහි පැවිදි යෝගියෙකු සඳහා අවස්ථාව සලසාදීමට භික්ෂූහු සූදානමින් සිටිති.
පුත්ලම් පාරේ 17 කණුව මන්සන්දියේ සිට කිලෝමීට් 17ක් පමණ දුර්ග සහිතව ඇති මෙම ස්ථානයට කෙනෙකුට පැමිණීම අසීරු ය. දානමානාදිය සපයන දායක පිරිසක් අවට ගම්මාන දෙකෙහි ක්‍රමානුකූලව සම්බන්ධවී නොමැත. නාහිමියන් මුල් අවධියේ වැඩ ආරම්භකර ඇත්තේ පිඬු සිඟා යමින් ය. එනමුත් දැත් තමා වියපත් බැවින් පිඬු සිඟා යාම අසීරුවකියි උන්වහන්සේ පවසන සේක. එහෙයින් දානය ලැබෙන්නේ දිවයින පුරා විවිධ ස්ථානවලින් භාරගන්නා සදැහැවතුන්ගේ උපකාරයෙනි.
විවිධ දානපතීන්ගේ උපකාර මත ආවාසය හා වර්තමාන විහාරයට අවශ්‍ය ඉදිකිරීම් හා පහසුකම් සැපයීම සිදුකරන්නේ ඉතා දුෂ්කරව බව පෙනේ. වල්වැදී ඇති ගොඩනැගිලි පාදම්, ගරාවැටුණු ගල්කණු හා නොයකුත් නටබුන් මෙන්ම පස්කඳු බවට පත්ව ඇති දාගැබ් සංරක්ෂණයේ කාලීන අවශ්‍යතාව දුටුවකුගේ නෙත ගැටේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක්කර ඇති සංරක්ෂණයන් ජනයාගේ පැසසුමට ලක්ව ඇති අතර සම්පූර්ණ විහාරාරාම සංකීර්ණය කිරීමට යෝධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබේ. නැතහොත් ඊළඟ පරපුරට දැකීමට සල්වානා වෙහෙරත් සාලිය මාලා සටහනත් ඇතුළු ජාතියේ අනණ්‍යතාව ඉතිරි නොවනු ඇත.
අනුරාධපුර සරත් මනුල වික්‍රම