27 C
Colombo
19/01/2025

විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට අගමැති මහින්ද මැදිහත්වෙයි

Share with your friends :

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට වහාම පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙ රටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක දී අගමැතිවරයා මේ බව පවසා තිබේ.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙ රටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහි දී පෙන්වා දී ඇත.ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම පිරිස කඩිනමින් මෙ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.ඔවුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකි ද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරවන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ.
මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙ රටට ගෙන්වා ගෙන ඇති අතර තවත් 22 483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් එස්. අරුමෛනායගම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුද එක්ව සිටියහ

Share with your friends :