27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයේ කතන්දරයට වගකිවයුත්තෝ කවරහුද?

Share with your friends :

ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පිට පිටම සිවුවන පරාජයත් ලබා තිබේ. ඒ බොහෝ පරාජයන් හොඳ තරගයක් දී ලබා ගත් පරාජයන් නොව අන්ත පරාජයන්ය.
ලෝක ශුරතාවය පවා දිනූ අපේ ක්‍රිකට් කණ්ඩායමට අත්වූ මේ ඉරණම සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ ක්‍රීඩා ලෝලීන් සිටින්නේ ඉතාම කනස්සල්ලෙනි.
මේ තත්වයට බලපා ඇත්තේ තේරීම් කමිටුව බව බොහෝ දෙනාගේ පිලි ගැනීමය. රට පුරා දක්ෂතා ඇති බොහෝ ක්‍රීඩකයන් සිටිද්දී ඔවුන්ට අවස්ථා ලැබෙන්නේ නැත. සෑම විටම අසාර්ථක වන ක්‍රීඩකයන් යොදා ගනිමින් ක්‍රීඩා කරන්නට අපේ තේරීම් කමිටුව දක්වන්නේ පුදුමාකාර දක්ෂතාවයකි. ආණ්ඩු මාරු උනත් මේ තේරීම් කමිටුව වෙනස් වන්නේ නැත. කලක් ඥාති සම්බන්ධතා ගැන කියවුණු තේරීම් කමිටු ලොක්කන්ගේ අන්තවාදී ආගමික සම්බන්ධතා ගැනද මේ වන විට චෝදනා නැගෙමින් තිබේ. මේවා ඒ ඒ ආගම්වල වැරදි නොව ඒවා අයුතු ආකාරයෙන් යොදා ගන්නා ඇතැමුන්ගේ වැරදි ක්‍රියාවන්ය. මේ අතර කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමටද මේ ආගමික අන්තවාදයේ ප්‍රශ්නය ඍජුවම බලපා තිබේ.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය රැක ගන්නට නම් අන්තවාදී ආගමකට බැඳෙන්නට අත්‍යවශ්‍ය බවට මේ වන විට චෝදනා නැගෙමින් තිබේ. මේ පුද්ගලයන්ගේ කටයුතු නිසා ආගම් ගැන පවා ජනතාවගේ විරෝධය මතුවී තිබේ. තමතමන් කවර හෝ ආගමකට අයත් වුවද රටක් ලෙස ක්‍රීඩා කරන විට සියලු දෙනා එක සමානය.
ඊළඟ කාරණය තමන් තෝරා ගන්නා ලද කණ්ඩායම් අසාර්ථක වීම දිගින් දිගටම සිදුවන්නේ නම් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුව තිබේ. දිගින් දිගටම ලද කණ්ඩායමේ පරාජය හමුවේ අසන්ත ද මෙල් කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එහෙත් දැන් තේරීම් කමිටුවේ වෙනසක් අත්‍යවශ්‍යවී තිබේ.
අනෙක් ප්‍රධාන ප්‍රශ්නය මේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ගෙවන ගෙවීමය. මාසිකව මොවුන්ගේ දීමනාව රුපියල් ලක්ෂ ගණනකි. දීමනා සහ වෙනත් දැන්වීම් ආදියෙන් තවත් ලක්ෂ ගණනක මුදලක් ලැබේ. එම නිසා හොඳින් ක්‍රීඩා කලත් නොකලත් ලක්ෂ ගණනින් වැටුප් ලැබෙන නිසා ක්‍රීඩකයන්ට එහි එතරම් බලපෑමක් නැත. එම නිසා ඔවුන් කරන්නේ කෙසේ හෝ කණ්ඩායමට රිංගා ගෙන කවර හෝ ක්‍රමයකින් ස්ථානය ආරක්ෂා කර ගැනීමය. මේ නිසා මාසික වැටුප් ක්‍රමය වෙනුවට සාමාන්‍ය වැටුප් ක්‍රමයක් සකස් කර දක්ෂතා මත අදාළ ගෙවීම් වැඩි වන ආකාරයේ ක්‍රමවේදයක් ඇති කල යුතුය. එසේම ක්‍රීඩකයන්ට ගෙවන ගෙවීම් රටට හෙළි කල යුතුව තිබේ.මේවා රහස් ලෙස පැවතිය යුතු නැත. මන්ද ඔවුන් ක්‍රඩා කරන්නේද රට වෙනුවෙනි. ඒ තොරතුරු දැනගැනීම් අයිතිය ජනතාවට තිබිය යුතුය. ඇතැම් ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ස්ථානය හිමිවීම ගැටලුවකි.එසේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවා දක්ෂතා නැති නම් තාවකාලිකව හෝ කණ්ඩායමෙන් ඉවත් කල යුතුව තිබේ. මේ ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කල විට ක්‍රීඩකයන් ලකුණු අතරට ඒමට හෝ කඩුලු අතරට ඒමට වැඩි උත්සාහයක් ගනු ඇත. එසේම සෑම අසාර්ථක තරගාවලියක් අවසානයේම තේරීම් කමිටුවෙන් නිදහසට කරුණු විමසීමේ ක්‍රමවේදයක් ඇති කල යුතුය.
තවත් ප්‍රශ්නයක් වන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ ක්‍රියා කලාපයයි. මේ වන විට සමාජ ජාලා ඔස්සේ එම ප්‍රශ්නය එලියට පැමිණ තිබේ. ඒ ප්‍රශ්නය එලියට ආවේ ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසූරිය හෙලිකල සිද්ධීන් සමගය. මේ සමග වසර ගනනාවක් තිස්සේ මේ බිරින්දෑවරු ජාතික ක්‍රිකට් කණ්ඩායමට කර ඇති බලපෑම ඇති විශාලය. මේ නිසා වහාම කල යුත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ක්‍රිකට් සංචාර වලට රැගෙන යාම හා මෙරට තරගවලදී පවා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කාමර වලට යාමට ඇති අවස්ථා තහනම් කිරීමය. විදේශ සංචාර වලදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු කල්ලි ගැසී කණ්ඩායම් තෝරා ගැනීමට පවා බලපෑම් කල බව කියවේ. මේ නිසා දක්ෂ ක්‍රීඩකයන්ට ඇතැම්විට සිදුවුයේ කණ්ඩායමට වතුර අදින්නටය. සාමාජ ජාලා ඔස්සේ හෙළිදරව් වුයේ ඇතැම් ක්‍රීඩකයන් තම පෙම්වතියන්ද කාමරවල තබා ගෙන සිටි බවය. එබැවින් මේ තරග පරාජය වීම් ගැන පුදුම විය යුතු නැත. සැබවින්ම කලයුත්තේ මේ කණ්ඩායම් බාරව ගිය කළමනාකරුවන්ට විරුද්ධවද නීතිමය පියවර ගැනීමය. මේ සිද්ධීන් ගැන බොහෝ විට මාධ්‍ය මගින් කතා නොකිරීමටද හේතු තිබේ. මේවා ගැන හෙළිදරව් කළහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ ක්‍රීඩා මාධ්‍යවේදීන් මීළඟ සංචාරයට එක් කර ගන්නේ ද නැත. අනුග්‍රාහකත්වයන් ලැබෙන්නේද නැත. මේ නිසා මේ සියල්ල රහසිගතව තබා ගත හැකිවී තිබේ.කෙසේ වෙතත් වරද මාධ්‍යවේදීන්ගේ නොව මේවා නිසි පරිදි පාලනය නොකළ ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකරුවන්ගේය.
චෝදනා එල්ලවී ඇති ප්‍රශ්නගත එක තරගාවලියක් වන්නේ 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියයි.එහිදී බිරින්දෑවරුන්ගේ ගැටුම් නිසා ඇතිවූ ක්‍රීඩක ආරවුල් නිසා ශ්‍රීලංකාවට ඇෆ්ගනිස්ථානයටද පරාජය වී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසි වන්නට සිදු විය.
මේ වන විට අදාළ සිද්ධීන් මාධ්‍ය ඔස්සේ අනාවරනයවීම හමුවේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇත්තේ තිසර පෙරේරා හට අදාල සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ වාදවිවාද වලට යාමෙන් වලකින ලෙස දැනුම් දීමය.වගකිවයුතු ආයතනයක් ලෙස එම හෙළිදරව් වූ කාරනා ගැන පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගැනීම වෙනුවට එලෙස ක්‍රීඩකයන්ගේ කට වැසීම පුදුම සහගතය.
මේ අතර එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කරගනිමින් පසුගියදා පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි ද මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා අදාළ වාර්තාවේ ප්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
ඇතැම් ක්‍රීඩකයන් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය, දීර්ඝ කාලයක් පුරා සිදුව ඇතැයිද ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිව බවද මේවන විට හෙළිවී තිබේ.
ලබන මස බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකු පසුගියදා යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනෙකු එහිදී අසමත්ව ඇත. එසේ අසමත්වූ ක්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවකාශය සලසා ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කර නොගන්නා අතර ප්‍රශ්නය ඇත්තේ මේ පරීක්ෂණ නිසි පරිදි සිදුවේද යන්නය.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන පිටස්තර කළමනාකරුවකු සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්න පවතී. ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර ගන්නට මේ කළමනාකරුට අයත් සමාගමට අදාළ සංචාර සඳහා ලැබෙන මුදලින් විශාල කොටසක් ගෙවිය යුතුව තිබේ.
රටේ ක්‍රිකට් ආරක්ෂා කර ගන්නට නම් වහාම මේ ප්‍රශ්නයට රටේ ඉහලම බලධාරීන් දැන්වත් මැදිහත්විය යුතුව තිබේ. ඒ සඳහා අවශ්‍ය සියලු බලය හා තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති එකම පාර්ශවය වන්නේද ඔවුන්ය. එම නිසා වහාම රජය මැදිහත්වී මේ ප්‍රශ්නය විසඳුවේ නැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනාගතයක් නැත.
අනුහස් කැප්පෙටිපොල

Share with your friends :