27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුවට

Share with your friends :

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුව භාර ගත යුතු බවට බොහෝ පාර්ශව පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරින් ඉල්ලා අස්වී තවදුරටත් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නට අසන්ත ද මැල් මහතා ගෙන ඇති තීරණයට ක්‍රීඩා ලෝලීන් හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශව ගණනාවක් විරෝධය පල කර තිබේ. ශ්‍රීලංකා පිල දිගින් දිගටම ලබන අන්ත පරාජයන් හමුවේ එල්ලවූ පීඩනය මත පෞද්ගලික හේතුවක් මත බව පවසමින් අසන්ත ඩ මෙල් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරින් ඉල්ලා අස්වන බව පවසා තිබිණි.
2019 වසරේ සිට ඔහු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සහ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර එම කාලය ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වලම කාලපරිච්ඡේදයක් ලෙස සැලකේ.
අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් රට පුරා සිටියදී ඔවුන්ට අවස්ථා නොදී අඩු දක්ෂතා ඇති ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එක කර ගැනීම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජය ලැබීමට හේතුව ලෙස බොහෝ දෙනා පවසති. එසේම පසුගිය වසර ගණනාවක කාලය තුල ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අසන්ත ද මෙල් ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විටින් විට බරපතල විවේචන තිබුනද ඔහු වරින්වර අවස්ථා ගණනාවකදී තම ස්ථානය රැක ගන්නට සමත්වූ ආකාරය පුදුම සහගතය.
කෙසේ නමුත් මෑත භාගයේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ තේරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අතර දිගින් දිගටම අසාර්ථ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඔහුගෙන් වි‍ශේෂ සැලකිලි ලැබෙන බවටද චෝදනා එල්ල විය. මේ නිසා බහුතරයකගේ අදහස වන්නේ ඔහු තේරීම් කමිටු සභාපති තනතුරින් ඉවත් වියයුතු බවය. එහෙත් දිගින් දිගටම ඔහුව ආරක්ෂා කරන කිසියම් හෝ බලවේගයක් තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතයේ සිටි ක්‍රීඩකයින් 5 දෙනෙකු එම සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව, එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තඟාවලියේ සංචිතයට නම් කර සිටි නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් ට සිය නිවෙස් බලා යෑමට අවසර දී තිබේ.
මේ පිරිස අතරින් දිමුත් කරුණාරත්න තුවාල ලබා සිටින අතර ඒ හේතුවෙන් සිකුරාදා ඇරඹෙන දෙවන ටෙස්ට් තරඟයේ දී දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවීමට නියමිතව තිබේ.

Share with your friends :