රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඔවුන් කොවිඩ් -19 ආසාදිතයන් නොවන බවට තහවුරු වී තිබේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ තම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇත්තේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාවන් අනුව බවයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ අදාළ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම සංගමය මේ වනවිට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ,
අපි මේ මොහොත වෙනකොට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා මේ රටින් දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට. ඒ මැදිහත්වීම ම සමහර මාධ්‍ය ප්‍රධානීන්ට කරදරයක් වෙලා තියෙනවා. තමන්ගෙ ජාවාරම්වලට වදිනකොට සමහරුන්ට තරහා යනවා. එතකොට අපේ සංගමයේ ප්‍රධානියා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හැංගිලා කියලා ප්‍රචාරය කරන තරමටම පහත් මට්ටමට ගිහිල්ලා තියෙනවා.
මේ සියලුම අය හිතනවා නම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට පහරදීලා, ඔහු හැංගිලා කියලා ප්‍රචාර හදලා, ඒ හරහා කිරිපිටි සමාගම්වල වුවමනාව, දුම්කොළ සමාගම්වල වුවමනාව, මත්පැන් සමාගම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව ඉෂ්ඨ කරලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නතුකරගන්න, ඒක ඔවුන්ට දවල් සිහිනයක් පමණයි.
ඒ වගේම අපි මේ වෙනකොට නීතීඥ සහාය ලබාගනිමින් ඉන්නවා මේ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඔහු ගෙදර නොසිටි වෙලාවක ඔහු ලයිට් නිව්වා දොරවල් ලොක් කළා කීම සම්බන්ධව, මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියව දැනුවත් කළාද යන්න සම්බන්ධව, ඒවගේම ආශ්‍රිතයකුගේ තොරතුරු මේ ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධව මේ සියල්ලටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා”
වෛද්‍ය නවීන් සොයිසා