27 C
Colombo
08/11/2024

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් cargo යවන්න පගාව දෙන්න වෙලා – වෘත්තීය සමිති වලින් චෝදනා

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අලෙවි අංශයේ සේවය කරන ඇතැම් දුෂිත නිලධාරීන් නිසා අපනයනකරුවන් බරපතල අපහසුතාවන්ට පත්වන බවත් ඒ හරහා භාණ්ඩ යැවීමේදී ඇතැම් නිලධාරීන්ට ගාස්තුවලට අමතරව සන්තෝෂම් මුදල් ලබාදීමට සිදුව ඇති බවටත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති චෝදනා කරති. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ආයතනයේ සභාපතිවරයාටද පැමිණිලි කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා අපනයනකරුවන් විමසන බොහෝ අවස්ථාවල එහි ඉඩ නැතැයි cargo අංශ සේවකයන් පවසන අතර පසුව වැඩි මුදලට ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව සඳහන්ය.
මීට අදාල වෙන් කිරීම් ව්‍යාජ සමාගම් මගින් සිදු කර පසුව ඒවා අවලංගු කර වැඩි මිලට එම ඉඩකඩ පසුව ලබා දෙන බව හෙළිවී තිබේ. මෙම කටයුතු බම්බලපිටියේ කාර්යාලයේ සිදු කෙරෙන අතර ඒ සඳහා කටුනායක කාර්යාලයේ සහය නොලැබීම නිසා බම්බලපිටිය කාර්යාලයේ සිට එහි එක්තරා නිලධාරියෙක් කටුනායකට ස්ථාන මාරු කර එවීමට උත්සහයක් පවතින බවද සඳහන්ය.
ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඔස්සේ විශාල ආදායමක් උපයා ගත හැකි මේ අවස්ථාවේ මෙම අංශයේ ඇතැම් නිලධාරීන් අදාළ සේවාවන් වෙනත් ගුවන් සේවා වලට ලැබෙන ලෙස වැඩි මිල ගණන් ඉදිරිපත් කරන බවටද චෝදනා පවතී.ඇතැම් ව්‍යාපාරික අවස්ථා ශ්‍රීලංකන් ගුවන් සේවයට අහිමිවී ඇත්තේ ටොන් එකකට ඩොලරයක් හෝ ඊටත් වඩා අඩු මුදලක් අඩු කරන්නට එකඟ නොවීම නිසා බවද පැවසේ. මින් වැසි ලැබී ඇත්තේ වෙනත් විදෙස් ගුවන් සේවාවන්ටය.
මෙම අංශයේ සේවකයන් වාර්ෂික හමුවීම් විදෙස් රටවල පවත්වන බවද කාගෝ අංශයේ ඇතැම් නිලධාරීන් ඒ සඳහා ගමන් කරන්නේ ව්‍යාපාරික පන්තියේ බවටද ශ්‍රීලංකන් ගුවන් සේවා වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් කාගෝ ගුවන් යානා දෙකක් මිලදී ගැනීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති පවසන්නේ ඒවා ලබා ගත යුත්තේ ඒ වෙනුවට ගුවන් සමාගම සතුව ඇති අමතර ගුවන් යානා ලීසිං සමාගම් වෙත නැවත භාරදීමෙන් පසුව ඒ වෙනුවට බවයි. ශ්‍රීලංකන් ගුවන් සමගම සතුව දැනට ගුවන් යාන 25 ක් ඇති අතර මේ සියල්ල සඳහා විශාල ලීසිං වාරික යුතුය. ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගමනාන්ත පවත්වා ගෙන යාමට ගුවන් යානා 12 ක් 15 ක් හොඳටම ප්‍රමාණවත් බව පවසන එහි සේවකයෝ නව කාගෝ ගුවන් යානා දෙකක් මේ අමතර ගුවන් යාන වෙනුවට ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිති. ඊට හේතුව දැනටත් පාඩු පිට පවත්වා ගෙන යන ගුවන් සේවයට තවත් ලීසිං වාරික වැඩිපුර ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බැවිනි.

සබැඳි පුවත්
ශ්‍රීලංකන් සමාගම සේවක ගිවිසුම් වලින් ඉවත්වීමට ගත් තීරණයට සේවක විරෝධය

Share with your friends :