ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
ඒ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය තුළ සිදුවු මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්ර්විසස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන තුළ රුපියල් බිලියන 13.7 ක මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් එහි හිටපු අධ්යක්ෂ මණ්ඩලය පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණි.
එවැනි පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් මත ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ යළිත් අත්අඩංගුවට ගනුලැබීමෙන් අනතුරුව අද අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ ආයතනවල සිදුවුයේ යැයි පැවසෙන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තුළ එම ආයතනවල අධ්යක්ෂවරුන් දණ්ඩ නීති සංග්‍රහයේ වංචා කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩකිරීම සහ මුදල් විශුද්ධිකරණය යන වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවය.
එසේම ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2011 වර්ෂයට පෙර සිටම තැන්පතුකරුවන්ගේ මුදල් වලින් මහබැංකු නියාමනයන්ට හසු නොවන හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් කළු සල්ලි ඉපයීමක් සිදුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළාය.
මෙහිදි අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම අවස්ථාවේදී මහබැංකුව එම ආයතනය විසින් මුදල් තැන්පතු භාර ගැනීම අවහිර කර නොමැත්තේ මන්ද යන්නය.
එයට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ ඒ වන විටත් විශාල තැන්පතුකරුවන් ප්‍රමාණයක් මෙම ආයතන තුළ මුදල් තැන්පතු කර තිබු බැවින්ද, ඔවුන් සියලු දෙනාගේ වගකීම මහබැංකුවට භාර ගැනීමට නොහැකි බැවින්ද ප්‍රතිව්‍යුහගත සැලැස්මකට අනුව මහබැංකු නියාමනය යටතේ එම ආයතන පවත්වාගෙන යන ලෙස මහබැංකුව උපදෙස් දී ඇති බවය.
කෙසේ වෙතත් ඉන් අනතුරුවද තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන් මහබැංකුව දැමු සීමා ඉතා සූක්ෂම ලෙස කඩකළ මෙම ආයතන දිගින් දිගටම තැන්පතු මුදල් භාරගනිමින් විශාල වංචාවක් සිදුකළ ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.