27 C
Colombo
18/01/2025

කාඩ්පතෙන් කොළයකට වැටී ප්ලාස්ටික් වන්නට යන අපේ ජාතික හැඳුනුම්පත

Share with your friends :

රටක ජාතික හැඳුනුම්පත යනු එරට ජනතාවගේ ප්‍රධානතම අනන්‍යතා සහතිකයි. එවන් වැදගත් ලේඛනයක් වන ජාතික හැඳුනුම්පතක වලංගුභාවය මනින ප්‍රධානතම කාරණයක් වන්නේ එහි උසස් තත්වය හා ආරක්‍ෂිත සලකුණු ආදියයි.ඒ එය වෙනත් පාර්ශව වලට මුද්‍රණය කල නොහැකි හා වෙනස්කල නොහැකි ආකාරයේ ලේඛනයක් විය යුතු නිසාය. එහෙත් අපේ රටේ මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තකි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කීප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාවන් හා දුෂිත කටයුතු නිසාය.
1972 දී ජාතික හැදුනුම්පත මුල්වරට එවකට පැවති රජය විසින් ශ්‍රීලාංකිකයන්ට ජාතික හැඳුනුම්පත ලෙස කාඩ් පතක් හඳුන්වා දෙන ලදී. ලොව බොහෝ රටවලට ජාතික හැඳුනුම්පතක් නොමැති අවධියක එවැනි ආකාරයේ ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීම හරහා ශ්‍රීලංකාව ආසියානු රටවල් අතර ප්‍රමුඛත්වයක් එදා හිමිකර ගත්තේය. එහෙත් අද වන විට ලොව සියලු රටවල් ඉතාම ඉහල මට්ටමේ ආරක්‍ෂිත කාඩ්පත් හඳුන්වා දෙද්දී මේ වන විට ජාතික හැඳුනුම්පත ලෙස ලබා දෙන්නේ කඩදාසි කොළයකි. ඒ නිසි කලට ජාතික හැඳුනුම්පත සඳහා කාඩ්පත් ඇනවුම් නොකිරීම හා තමන්ට අවශ්‍ය සමාගම් සඳහා අදාල කාඩ්පත් ටෙන්ඩරය ලබාදීම සඳහා වරින් වර විවිධ හේතු දක්වමින් ඊට අදාළ ටෙන්ඩර් අවලංගු කිරීම නිසාය.
එහෙත් මෙහි විශාලතම විහිලුව එය නොවේ. මේ වන විට අපේ රටේ විවිධ ආකාරයේ ජාතික හැඳුනුම්පත් වර්ග හතක් පමණ තිබේ. එම නිසා රටේ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් බරපතල ගැටළු මතුව ඇත්තේ ඒවා නිවැරදි හැඳුනුම්පත් දැයි හඳුනාගැනීම මේ නිසා බරපතල ගැටළුවක් වීම නිසාය.
මේ දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත් වර්ග මෙසේය.
1972 සිංහල අත්අකුරු සහිත කළු සුදු ඡායා රූපයක් සහිත හැදුනුම්පත් සහ 90 දශකයේ සිංහල අත්අකුරු සහිත වර්ණ ඡායා රූපයක් සහිත හැඳුනුම්පත් ලක්ෂ 160 ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
2012 සිංහල හා දෙමල භාෂා වලින් මුද්‍රිත හැඳුනුම්පත් ලක්ෂ 70 ක් දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
2017 වසරේදී එක් ඡායාරූපයක් සහිත polycarbonate සුහුරු හැදුනුම් පත් දොළොස් ලක්ෂ පනස්දහසක්ද , 2018 වසරේදී විශාල සහ කුඩා ප්‍රමාණයේ ඡායාරූප 2 ක් සහිත polycarbonate සුහුරු හැදුනුම්පත් දාහත් ලක්ෂ පනස් දහසක්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට ලබාදෙන ලදී.
ඉන්පසුව අදාළ කාඩ් පත් අවසන්වීම නිසා කොළයක මුද්‍රණය කර තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලබා දෙමින් තිබෙන්නේ 2019 වසරේ අගභාගයේ සිටය. ඒ නිසි කලට කාඩ්පත් ඇනවුම් නොකිරීම හා තමන්ට අවශ්‍ය සමාගමට ටෙන්ඩරය ලබාදීමට නොහැකිවීම නිසා දෙවරක්ම අදාළ කාඩ්පත් ටෙන්ඩරය අවලංගු කිරීම නිසාය. මේ සියල්ලට අවසානයේ වන්දි ගෙවන්නට වන්නේ රටේ අහිංසක ජනතාවටය. මේ තාවකාලික කාඩ්පත් කවදා හෝ දිනෙක යලිත් අලුත් කරන්නට ජනතාවට විශාල රස්තියාදුවක් වීමට සිදුවේ.
මේ අතර ජාතික හැඳුනුම්පත් වෙනුවට කොළ ලබාදීම සමබන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් පසු කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් නොමැති PVC ප්ලාස්ටික් කාඩ් ලක්ෂ පහක් මිලදී ගැනීම සඳහා මේ වන විට පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
ඒ අනුව මේ වන විට ජාතික හැදුනුම් පත් වර්ග 6 ක් රට පුරා තිබෙන අතර අලුතෙන් නිකුත් කරන්නට බලාපොරොත්තුවන PVC කාඩ්පතද එක්වූ විට හැඳුනුම්පත් වර්ග හතකි.
මෙම කාඩ්පත් ටෙන්ඩර් දෙකක්ම කිසිදු පිළිගත හැකි සාධාරණ හේතු රහිතව අවලංගු කර ඇති ආකාරය පුදුම සහගතය.ඉන් එකක් පසුගිය යහපාලන රජය කාලයේ වන අතර අනෙක මෙම රජය සමයේද කැඳවන ලද ටෙන්ඩර් වේ. ඉහල නිලධාරීන් පවසන ආකාරයට මෙම ටෙන්ඩර දෙකම සඳහා සියලු පිරිවිතර සම්පුර්න කල සුදුසුකම්ලත් සැපයුම් කරුවන් සිටියදීත් අවලංගු කිරීම දැඩි ලෙස සොයා බැලිය යුතු කාරණයකි.
මේ දක්වා ජාතික හැදුනුම්පතක් ලබාදීමේදී සහ සියලු වෙනස්කම් සිදු කිරීමේදී කැබිනට් අනුමැතිය ලබා ගෙන සිදු කර ඇත. එහෙත් මෙවර මෙම PVC කාඩ් පත ලබාදීම කිසිවිටකත් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර සිදුනොවන්නක් බව දෙපාර්තුමේන්තු සේවකයෝ පවසති.
මේ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ ඉහලම නිලධාරීයකුගේ සහයද ලැබෙන බව පැවසේ.එසේම ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානයක සහය ලැබෙන බවටද රාවයක් පවතී. මෙම නව කාඩ් පත මෙරට පුරවැසියන් හට ඉතිහාසයේ ලබා දුන් අවම ආරක්‍ෂිත ක්‍රමවේද සහිත කාඩ්පත් වන අතර එය අනාගතයේ විවිධ පැටලු රැසකට මුල්වනු ඇත.
මෙම කාඩ්පත මිලදී ගැනීමට දැනටමත් ටෙන්ඩර පිරිවිතර සකසා ඇත. .ජාතික වටිනාකමක් සහ ජාතික ප්රෞඩත්වයක් ඇති වැදගත් ලේඛනයක වටිනාකම නොදත් මෙවන් නිලධාරීන් විසින් ගන්නා මෙවන් තීරණ වත්මන් රජයහි ඉදිරි ගමනට කැළලක් වනු නියතය.

Share with your friends :