27 C
Colombo
19/01/2025

පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්

Share with your friends :

පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් කොමිසමේ ලේකම්වරයා විශ්‍රාමික අමාත්‍යංශ්‍ය ලේකම්වරයකු වන ජී එස් විතානගේ මහතා ය. විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරු සංස්ථාපිත ආයතනවල ප්‍රධානීන් මෙන්ම පෞද්ගලික ආයතන රැසක අධ්‍යක්ෂවරුන් ද මීට ඇතුලත් වේ.

ආයෝජන හා ඉදිකිරීම් ක්‍ෂෙත්‍ර ඇතුළු සියලු ක්‍ෂෙත්‍රවලට අදාලව අවසර පත් හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය හාබදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම මෙම කොමිසමට පැවරෙනු ඇත.

එමෙන්ම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි අධ්‍යයනය කිරීම සහ වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනාගැනීම සඳහා ගෝලීය ප්‍රමිතින් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාල බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද කොමිසමට පැවැරෙනු ඇත.

මෙකී වගකීම් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් දී ඇති බත් සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාල ආයතන වෙත උපදෙස් දීමේ බලය ද කොමිසම සතු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පෙන්වා දෙයි.

Share with your friends :