27 C
Colombo
19/01/2025

තුම්මෝදරදී ආරණ්‍යවාසී භික්ෂුවක් පැහැරගෙන ගොස් කොටදෙනියාවේදී මරා පුළුස්සලා

Share with your friends :

පසුගිය දෙවැනිදා රාත්‍රීයේදී හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට කඩා වැදුනු කණ්ඩායමක් එහි සිටි පිරිස දණගස්වා පැහැරගෙන ගිය එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ගේ සිරුර කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ එම මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ගල්නෑවේ සිරිධම්ම හිමියන් විසින් සිරුර හඳුනාගත් බව කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි.එම්. පුෂ්පකුමාර මහතා පැවසීය.මෙම සේනාසනයේ වසර 16 ක සිට වැඩ වසන ගල්නෑවේ සිරිධම්ම හිමියන්, ඝාතනයට ලක්වූ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ නිකට ප්‍රදේශයෙන්, දත් වලින් සහ මෑතක දී අත් පා වල කපා තිබූ නියපොතුවලින් එලෙස හඳුනා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.
පසුගිය දෙවැනිදා රාත්‍රීයේදී හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට කඩා වැදුනු දස දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන්ට පොලු වලින් පහරදී වෑන් රථයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක්ද සමඟ පුද්ගලයෙකු හංවැල්ල පොලිසිය මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි
කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියේ මළ සිරුරක් මිහිදන් කළ වළක් මත සිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.කන් වලින් මුඛයෙන් හා නාසයෙන් ලේ ගලන තුවාල සහිතව තිබූ එම මළ සිරුර මුහුණ දැඩි ලෙස පිලිස්සී තිබිණි.
මේ අතර උඩුවිල ධම්මසිරි හිමියන්ට පහර දී පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොරණ කිරිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් එම සැකකරු එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 12 හැවිරිදි සාමණේර හිමි නමකගේ පියා බව පොලිසිය කියයි.
පුද්ගලයන් 10දෙනකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇති අතර, ඒ සදහා යොදාගත් වෑන් රථයද හදුනාගෙන තිබේ.
සැකකරුවන් එම මෙම ආරණ්‍ය සේනාසනයට එලෙස කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් බවට හඟවමින් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එලෙස පැමිණි පිරිස අතර හොරන මිල්ලනිය පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකගේ සැමියාද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Share with your friends :