27 C
Colombo
19/01/2025

ඉහල ගිය ඩොලරය යලි පහලට – රුපියල රැකගන්න මහබැංකුව මැදිහත්වෙයි

Share with your friends :

පසුගිය දින කීපය තුල ශ්‍රීලංකා රුපියල අනෙකුත් විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව විශාල වශයෙන් පහල යාමට පටන් ගැනීමත් සමග රුපියලේ අගය රැක ගැනීම සඳහා ශ්‍රීලංකා මහා බැංකුව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ වන විට ඩොලරයක් රුපියල් 188 දක්වාද යුරෝ එකක් රුපියල් 229.85 දක්වාද ස්ටර්ලින් පවුමක් රුපියල් 253 දක්වා ද ඉහල ගොස් තිබේ.
පසුගිය සතියේ දී එක්සත් ජනපද ඩොලරය විකුණුම් මිල රු. 194 සීමාව ඉක්මවා ගිය අතර එහිදී විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේය. කෙසේ වෙතත් ඇමරිකානු ඩොලරය මේ වන විට තරමක් පහල ගොස් ඇති නමුත් යුරෝව හා ස්ටර්ලින් පවුම එලෙසම ඉහල මට්ටමේ පවතී.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ දී බලපත්‍රලාභී බැංකු විසින් තරමක විශාල ආයෝජනයක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී ආයෝජනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම බලපත්‍රලාභී බැංකු විසින් තවදුරටත් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම වෙත ලැබෙන ගලාඒම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමට යොමුවන ආකාරයක් නිරීක්ෂණය වන බව ද මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
මෙය දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමට හේතු වී ඇති බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව මෙය සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාස 03 ක කාලයක් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීමට නියෝග කර තිබේ.
ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව අවධාරණය කර ඇත.මෙම ක්‍රියාමාර්ගත් අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ පරිදි ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව දැනට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක් බව පවසයි. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් ඇතැයිද මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන අතර, එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇතැයිද ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

Share with your friends :