27 C
Colombo
18/01/2025

ලොවම වසඟ කල ලාබාලතම බිලියනපතිනිය කයිලි ජෙනර්ගේ රහස

Share with your friends :

අවුරුදු 21ක් වැනි වයසකදී තමන් බිලියනපතියෙක් බවට පැවසිය හැක්කේ, අතලොස්සකට පමණි.එමෙන්ම තමන්ගේම ස්ව උත්සාහයෙන් බිලියනපතියෙක් වූ බව කිව හැක්කේ ඒ අතරිනුත් කිහිපදෙනෙකුට පමණි.
ලොව ස්ව උත්සාහයෙන් දියුණුවට පත් ලාබාලතම බිලියනපතිනිය වන්නේ කයිලි ජෙනර්ය. කයිලි ජෙනර් 1997 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර උපත ලැබීය. ඇය හොලිවුඩ් කලා ලොවේ ජනප්‍රිය පවුලක් වන කාර්ඩේශියන් පවුලේ ක්‍රිස් ජෙනර්ගේ හා කැටලින් ජෙනර්ගේ ලාබාලතම දියණියයි. එසේම කෙන්ඩල් ජෙනර්ගේ සහෝදරියයි . ලොව ජනප්‍රියතම ටෙලි කතා මාලාවක් වන, “Keeping Up With The Kardashians” කතා මාලාව හරහා ජනප්‍රියත්වයට පත්වන ඇය තමන්ගේම ස්ව උත්සාහයෙන්, සාර්ථක රූපලාවණ්‍ය ආයතනයක් වන “කයිලි කොස්මෙටික්ස්’ ආයතනය ආරම්භ කරන්නේ ඉතාම අඩු වයසකිනි.

කයිලි තමන්ගේ පළමු නිෂ්පාදනය 2015, නොවැම්බර් 30වනදා වෙළද පොලට නිකුත් කරන ලද අතර එය නොසිතූ ලෙස ජනප්‍රියතාවයට පත් විය. “කයිලි ලිප් කිට් ” නම් වන එය, ඩොලර් 29 බැගින් වන ලෙස ඉතා සීමිත ප්‍රමාණයක් වෙළදපොලට නිකුත් කරන ලදී.ඉතා කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කල මෙය සති හයක් වැනි කෙටි කාලයකින් ජනතාව අතර අතිශය ජනප්‍රියවන්නට පටන් ගත්තේය. එම ව්‍යාපාරය දියණු කිරීම හා ප්‍රචාරය සදහා ඇය තම පවුලේ කීර්තිය උපයෝගී කර ගත් බව රහසක් නොවේ. ඇය දැනට “කයිලි ලිප් කිට්” විකිණීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් උපයා ඇත.

කයිලි තම සොයුරිය කෙන්ඩල් සමග

2015 දී ටයිම් සඟරාව විසින් ලොව වඩාත්ම බලගතු යෞවනයන්ගෙන් කෙනෙකු ලෙස කයිලි, නම් කරන ලදී. තමන්ගේ ආයතනය අනෙක් ප්‍රසිද්ධ සමාගම් මෙන් දියුණුවට පත් කිරීමට තමන්ට අවශ්‍ය බවත් ෆොර්බ්ස් සඟරාවේ තම නම පලකරගැනීම තමාගේ සිහිනයක් බවත් 2016 වසරේදි පවසා තිබිණි. ඇගේ සිහිනය සැබෑ කරමින් 2019 දී ෆෝබ්ස් සගරාව විසින් ඇයව, ස්ව උත්සාහයෙන් දියුණුවට පත්වූ ලොව ලාබාලතම බිලියනපතිය ලෙස නම් කරන ලදී. ඒවනවිට ඇයට වයස අවුරුදු විසි දෙකක් විය.
ඇය මෙතරම් ඉක්මනින් තම ව්‍යාපාරය දියුණුවට පත් කරගත්තේ කෙසේද? යන්න වර්තමානයේ බොහෝ දෙනා කල්පනා කරති. සැබවින්ම ඇගේ දියණුව පිටුපස ඇති රහස නම් ඇයගේ කැපවිමයි. අද තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට නැත්තේද එයයි. ඒ සදහා ඇය භාවිත කරන ලද වෙළඳ උපක්‍රම බොහොමයක් ද ඇත. සාමන්‍යයෙන් ව්‍යාපාරයකදී අනිවාර්ය වියදම් වන කාර්ය මණ්ඩල වැටුප් සහ වෙළඳ කුටි සදහා කුලී වැනි දෑ ඇය අවම කරගත් අතර ඒ සඳහා වැය වන මුදල් ව්‍යාපාරයේ දියුණුව සඳහා ඇය යෙදෙව්වාය.

කයිලි කොස්මටික්ස් ආයතනයට අද වන විට ඩොලර් මිලියන ගණනක වටිනාකමක් ඇතත් එය ආරම්භ කරන විට කාර්යමණ්ඩලය ලෙස සිට ඇත්තේ පූර්ණ කාලීන සේවකයන් හත් දෙනෙක් සහ අර්ධ කාලීන සේවකයන් තිදෙනෙක් පමණි. එමෙන්ම ලොව පුරා යම්කිසි දෙයක් ප්‍රචාරය කිරීමට අවශ්‍ය වන අලෙවිසැල් ප්‍රමාණය අති විශාලය. ඒ සදහා වන කුලී වියදම් ඉතා අධික වන අතර, ලාබයෙන් විශාල මුදලක් ඒ සදහා වැයවේ.

මේ සදහා ඇය ගත් උපාය මාර්ගය වුයේ ඇයගේ සියලුම නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයකට විකිනිමය. මේ නිසාම ඇගේ සෑම නිෂ්පාදනයකම පූර්ණ ලාභයම ඇයට ලැබුණි. පසුව ඇගේ නිෂ්පාදන වලට පැවති ඉල්ලුමත් සමගම මේ වනවිට, ඇයගේ නිෂ්පාදන ඒවා අලෙවිකරණ ලොව ප්‍රධාන අලෙවි ජාල වලින්ද මිලදී ගත හැක.

කයිලි තමන්ගේ ආයතනයට යොදවන මුදල් උපායා ගත්තේ නිරුපන ක්ෂේත්‍රයෙනි, එම උපයාගත් මුදල් නිසාවෙන් කයිලි කොස්මටික්ස් ආයතනය, බාහිර ආයෝජකයින්ගෙන් තොරය . ඇයගේ නවතම නිෂ්පාදන, ඇය භාවිත කරන ආකාරය වීඩියෝ කර තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමත් ඇය යොදා ගන්නා තවත් ව්‍යාපාර උපක්‍රමයකි. මෙයට විශාලම හේතුව වන්නේ ලොව වැඩිම පිරිසක් ස්නැප් චැට් හරහා අනුගමනය කරන පුද්ගයා වන්නේ කයිලි ජෙනර් වීමයි. එමෙන්ම, අද වනවිට ට්විටර් ඔස්සේ අනුගාමිකයන් මිලියන 36.3ක් ද, ඉන්ස්ටග්‍රෑම් හරහා අනුගාමිකයන් මිලියන 201ක්ද ඇය සතු වේ. ෆොර්බ්ස් සඟරාව පවසන පරිදි 2019 වන විට ඇයගේ මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියනයක් විය.

මේ වන විට ඇයගේ වයස අවුරුදු 23ක් වන අතර ඇය එක් දරු මවකි. ඇය ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වන ට්‍රැවිස් ස්කොට්ගේ සහකාරිය වන අතර ඔවුන්ගේ දියණියගේ නම ස්ට්‍රොමි වෙබ්ස්ටර් නම් වේ.

ඇය මේ වන විටත් ලොව පුරා පුවත් මවන්නියකි.ඇගේ එම ජනප්‍රියත්වය ඍජුවම ඇගේ ව්‍යාපාර වලටද බලපාන අතර එක අතකට සමස්ත ලෝකය පුරාම මේ පුවත් හරහා ඇගේ නිෂ්පාදනවලට ලැබෙන ප්‍රචාරය ලැබෙන්නේද නොමිලේය. පසුගියදා තම දියණිය උපත ලබා සතියකට පසුලබා ගත් පින්තූර ප්‍රචාරය කල අතර එය සමාජ ජාල ඔස්සේ ලැව්ගින්නක් ලෙස ලොව පුරා පැය කීපයකින් ප්‍රසිද්ධ විය.

– අමාදී සෙනෙවිරත්න –

Share with your friends :