27 C
Colombo
19/01/2025

ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ලංකාවට එරෙහි යෝජනාවක්

Share with your friends :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පියවර ගෙන ඇතැයි සන්ඩේටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ය. ඉකුත් යහපාලන රජය ද සම අනුග්‍රහාය දැක්වූ එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට වත්මන් රජය පියවර ගත් අතර ඊට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය.
ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කටයුතු කරන බව සඳහන්ය.
අදාළ 30/1 යෝජනාවේ දිගුවක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 34/1 සහ 40/1 යනුවෙන් තවත් යෝජනා දෙකක් සම්මත විය. යුද සමයේ වගවීම් ක්‍රියාමාර්ග සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංහිඳියා (ප්‍රතිසන්ධාන) ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම යෝජනාවලින් අවධානය යොමු කර තිබිණි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කිසිදු යෝජනාවකින් සැලකිය යුතු යමක් අත්පත් කරගැනීමට නොහැකි වූ බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යා යුතුය යන්න එම නායකයන්ගේ අදහස වී තිබේ.
නව යෝජනාවක් සඳහා එලෙස ක්‍රියාමාර්ග ගැනෙමින් තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම එහි දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෝස්මරි ඒ. ඩිකාලෝ මහත්මිය ලබන වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන්ය. ඇමෙරිකා එක්සත් ජනපදය රුපියල් බිලියන 89 ක එම්.සී.සී. (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ප්‍රදානය නවත්වන බව පසුගිය සතියේදී නිවේදනය කල අතර ශ්‍රීලංකාව වෙනුවට වෙනත් රටවලට අදාළ ආධාරය ලබා දීමට නියමිතය.

Share with your friends :