කොරෝනා වෛරසය ආසාදන මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රශ්නය මේ වන විට ලොවපුරා මුස්ලිම් ජාතිකයන්ගේ ගැටළුවක් දක්වාම වර්ධනය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් රජයේ විශේෂඥ කමිටුව නිර්දේශ කලේ තවදුරටත් මුස්ලිම් මෘත ශරීර ආදාහනය කල යුතු බවයි.
මේ අතර මෙම මුස්ලිම් මල සිරුරු මාල දිවයිනේ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව හා මාලදිවයින අතර කිසියම් සාකච්ඡාවක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් මාලදිවයිනේ රජය විසින් කිසියම් එකඟතාවක් පළකර ඇතත් එරට විපක්ෂය විසින් ඊට විරෝධය පළකරමින් පවසා තිබුනේ අවශ්‍ය නම් එරට ජීවත්වීමට ශ්‍රීලංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කරන බවයි.මේ අතර මාලදිවයිනේදී ශ්‍රීලාංකික මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය සම්බන්ධයෙන් ශ්‍රීලාංකික මුස්ලිම්වරුන්ගේ විරෝධය පලවී තිබේ.
මේ අතර පසුගිය දින වල යුරෝපයේ වෙසෙන ශ්‍රීලාංකික මුස්ලිම් ජනතාවද මීට එරෙහිව පසුගියදා විරෝධතා පැවැත්වුහ. මේ වන විට ලොව ප්‍රධාන පෙලේ මුස්ලිම් රටවලින්ද මේ තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි සඳහන්ය.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමදානයට ඉඩලබා නොදීම හේතුවෙන් මුස්ලිම් තරුණ කොටස් නැවතත් අන්තවාදය කෙරෙහි යොමුවීමේ අවදානමක් පවතින බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසා තිබේ.
මොහොමඩ් අලි සබ්‍රි අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී අලි සබ්‍රි ඇමතිවරයා මෙසේද පැවසීය.
“කොවිඩ් 19 වසංගතයත් එක්ක ඒ සම්බන්ධයෙන් අපි පිළිපදින කරුණු රාශියක් තියෙනවානෙ. කොහොමද ප්‍රතිකාර කරන්නෙ, පීසීආර්ද ඇන්ටිජන්ද කරන්නෙ, ලබාදෙන ඖෂධ මොනවද … මේවාගෙ නිර්ණායක හදන්නෙ ප්‍රධාන වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය. මුල ඉඳලා අවසන් වෙනකල් ඒ අයගේ මාර්ගෝපදේශ තියෙනවා. ඒවා තමයි බොහෝවිට පිළිපදින්නෙ. ඒ අනුව තමයි අනිත් සියලු දේවල් කරන්නෙ. ඒ මාර්ගෝපදේශ අනුවම තමයි ලෝකෙ අනිත් රටවල් වගේම හැමෝම බලාපොරොත්තු වෙනවා මේකෙන් මරණයට පත්වෙන අයගේ මෘතදේහ ආදාහනය කරනවා කියන එක විතරක් නොදී අවශ්‍ය අයට භූමදානය සඳහාත් ඉඩදිය යුතුයි කියන එක තමයි මෙතන මුල ඉඳලාම ගිය තර්කය.
ඒක අසාධාරණ තර්කයක් නෙවෙයි. අසාධාරණ ඉල්ලීමකුත් නෙවෙයි. මං දන්නෑ ඇයි මේක මේ මෙච්චර මතභේදයකට තුඩුදීලා තියෙන්නෙ කියලා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම්, රතුකුරුස සමාජයේ ෆොරන්සික් යුනිට් එකක් තියෙනවා අයිසීආර්සී කියලා ඒගොල්ලො ඒක කියනවා නම්, ඇමරිකාවේ වසංගත මර්දන මධ්‍යස්ථානය කියනවා නම්, යුරෝපා සංගමය කියනවා නම්. සමස්තයක් වශයෙන් ලෝකෙ චීනය ඇරෙන්න හැම රටකම ඉඩ දෙනවා නම් ලංකාවේ ඉඩ නොදෙනකොට හරි ප්‍රශ්නයක් මේක.
ඉතිං ඒ හින්දා යම් සමාජයකට හිතෙනවා නම් මේ අපිව ටාගට් කරගෙන තමයි මේක කරන්නෙ කියලා ඒක හරි නෑ. මේක විද්‍යාත්මකව තහවුරු කරගන්නත් බැරිවෙලා තියෙනවා. මොකද කියනවා නම් දැන් හැමදාම ඇවිල්ලා අපට ටීවී එකේ මොනවද කියන්නෙ, වෛරස් එකට ගමන් කරන්න බෑ ඔබ වෛරස් එක ගාවට ගියොත් විතරයි බෝවෙන්නෙ කියලානෙ. ඒ කියන්නෙ අත හෝදාගෙන මුඛ ආවරණ පැළඳගෙන සමාජ දුරස්ථභාවය තියාගත්තා නම් වෛරස් එක ගැන බය වෙන්න ඕනෙ නෑ. එහෙම නම් මිනිස්සු අහන ප්‍රශ්නය වෙන්නේ මනුස්සයෙක් මැරුණට පස්සෙ විෂබීජහරණය කරලා, පොලිතීන් බෑග් දෙකකට දාලා, වහලා, පෙට්ටියක දාලා, අඩි පහක් යට වැළළුවාට පස්සෙ කොහොමද මේකෙන් බෝවෙන්නෙ කියන එකයි.
මේක හරි සංවේදී දෙයක්. මං හිතන්නෙ නෑ මේක අපි ජාතිවාදී පැත්තකින් බලන්න ඕනෙ කියලා. ඇයි මේකට අවස්ථාව නොදෙන්නෙ කියන එක පිළිබඳ බරපතළ ගැටළුවක් තියෙනවා”
“නිදහස් මනසකින් බලන්නෙ නැත්නම් අන් අයගේ ආගම් ඇදහිලි හුඟක් අයට මිත්‍යාවක්. තමන්ට තමා ඒකෙ වටිනාකම තියෙන්නෙ. එතන තමයි සහකම්පනය අවශ්‍ය වෙන්නෙ. බුද්ධාගමේත් ඒකනෙ කියන්නෙ. කරුණාව මෛත්‍රීය දයාව උපේක්ෂාව. අනිත් මනුස්සයාගෙ පැත්තෙනුත් මේක බලන්න පුළුවන් වෙන්න ඕනෙ. මුස්ලිම් සමාජය තුළ ආදාහනය කරනවා කියන්නෙ ඒ දේහයට කළහැකි අන්තිම අවමන් සහගත දෙයක් හැටියට තමයි සලකන්නෙ. ඒ හින්දා ඒක අත්‍යවශ්‍යම නැත්නම් ඒක දරාගන්න බැරි දෙයක්. ඔබත් අහනවා ඇති ඇයි මෙච්චර මේ වැළලෙන්න යන්නෙ කියලා, නමුත් එහෙම තමයි ඒ විශ්වාසය තියෙන්නෙ.
ඒබ්‍රහමික ආගම්වල, ඒ කියන්නෙ මුස්ලිම්, කතෝලික, යුදෙව් සමාජ තුළ යම් විශ්වාසයක් තියෙනවා කවදාහරි මළවුන්ගෙන් නැගිටිනවායි කියන එක. ඒ හින්දා ඒ දේහයක් වෙනුවෙන් ජීවත් වෙන අයට කරන්න යුතුකම් හතරක් තියෙනවා. දේහය ස්නානය කරවන්න ඕනෙ, සුදු රෙද්දකින් ආවරණය කරන්න ඕනෙ, ඒ වෙනුවෙන් වඳින්නට ඕනෙ, භූමදානය කරන්නට ඕනෙ. මුස්ලිම් සමාජය මේ පළවෙනි තුනම අතෑරලා දාන්න කැමතියි. දේහයක් අල්ලාගෙන හෝදන්න බෑ, අපි අල්ලාගෙන අතහගන්න බෑ, එතනට ගිහිල්ලා 40 – 50 එක්ක වඳින්න බෑ, ඒවා විද්‍යාත්මකයි. අපි ඒවාට අනුගත වෙනවා. අවසානයේ ඒ ක්‍රමවේදයම අනුගමනය කරලා ගිහින් පුච්චනවා වෙනුවට වළදැමීමෙන් වෙන හානිය මොකක්ද කියන ප්‍රශ්නය විද්‍යාත්මකව මතුවෙනවා. ඒක විද්‍යාත්මක නම් ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකට ඉඩදෙන්නෙ ? ඒ හින්දා මේ තීරණය අරගෙන තියෙන්නෙ විද්‍යාත්මකව නෙවෙයි කියන එක තමයි හැමෝගෙම මතය.
දැන් මේකෙන් ලෝකට දෙන පණිවිඩය මොකක්ද ? ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික වෛරස්වේදියා තමයි අපි හැමෝම දන්න මහාචාර්ය මලික් පීරිස් මහතා, හොංකොං විශ්වවිද්‍යාලයේ. සාර්ස් වෛරසය අඳුනාගත්තෙ එතුමා. එතුමා පැහැදිලිවම කියනවා සාමාන්‍යයෙන් වෛරසයක් මළකඳකින් බෝවෙන්නෙ නෑ. ජීවි සෛලයක් උඩ තමයි ඒක වර්ධනය වෙන්නෙ. අනික දවස් 7 – 10 යනකොට වෛරසය තියෙනෙ කෙනෙක්ගෙනුත් ඒක පැතිරෙන්න තියෙන ඉඩ නැතිවෙලා යනවා. ඉතිං එතුමා කියනවා විෂබීජහරණය කරලා පොලිබෑග් දෙකක දාලා අඩි හයක් වළදැම්මාම ඒකෙන් වෛරසය බෝවෙන්න කිසිම විද්‍යාත්මක පදනමක් නෑ කියන එක. මං දැක්කා පබා පළිහවඩන මහත්මියත් කියලා තිබුණා මේක වෛරස්වේදීන්ගෙන් අහන්න එපැයි, මේ භූ විද්‍යාඥයින් දන්නෙ නෑ වෛරසය පැතිරෙනවද නැද්ද කියන එක කියලා.
ඉතිං මේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකාවෙ සීඩීසී එක, යුරෝපා සංගමය මේ ඔක්කොම දන්නවාට වඩා වැඩිදෙයක් අපේ රට දැනගන්නෙ කොහොමද කියන එක මං දන්නෑ. අනික ඉතාමත්ම වැදගත් මේක අපේ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන කීර්තියටත් ලොකු ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේක පිළිබඳව කතා කළා, රටවල් 51කින් යුක්ත මුස්ලිම් රාජ්‍යන්ගේ සංගමය ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිඛිතව රජයට දැනුම්දීලා තියෙනවා, මැදපෙරදිග රටවල තානාපතිවරුන් 12 දෙනෙක් දැනුම් දීලා තියෙනවා. ඇයි මේ රටට මෙච්චර අපකීර්තියක් කරගන්නේ ? ලංකාවට තිබුණෙ ඒවගේ නමක් නෙවෙයිනෙ.
මට තියෙන ඊට වඩා ලොකු ප්‍රශ්නය, මේකෙන් මුස්ලිම් සමාජයේ යම් යම් තරුණයින් යම් යම් කොටස් එක්තරා අන්තයකට තල්ලු කරලා දායිද කියන එක. හරි භයානකයි. මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයින්ට මේවගේ සරල දෙයක්වත් විසඳාගන්න බැහැයි කියලා අවිශ්වාසයක් ගොඩනැඟුණොත් තරුණයෝ ළඟ, ඔවුන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙන්නෙ නෑ. මං ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවායි කියලා. ඔවුන් අනවශ්‍ය විදියට ගිහිල්ලා අන්තවාදී දෘෂ්ටියකට එකතු වුණොත් හරි කෝලාහලයක් තමයි වෙන්නෙ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.