27 C
Colombo
18/01/2025

“බුරවී“ සුළි කුණාටුවෙන් ශ්‍රීලංකාවට දැඩි අවදානමක් ?

Share with your friends :

“බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 75 – 85 පමණ වන අතර විටින් පැ.කි.මී 95 දක්වා වැඩි වීමට ඉඩ තිබේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී“සුළි කුණාටුව ඊයේ රාත්‍රිය වන විට ත්‍රිකුණාමලයට කි.මී 330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1ත් නැගෙනහිර දේශාංශ 84.2ත් ආසන්නව ස්ථානගතව ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඇතැම් ස්ථානවල මි.මී 200ට වැඩි වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 80 -90 පමණ තද සුළං ඇති වේ.සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 70 පමණ තද සුළං ඇති වේ.
මේ අතර නැගෙනහිර පළාතේ සියලු පාසල් ලබන සිකුරාදා දක්වා වසා දමන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.සුළි කුණාටුවෙන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි නිසාත් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කදවුරු ලෙස පාසල් භාවතා කිරිමට සිදු වීම නිසාත් මෙසේ පාසල් වසා දමා තිබේ.

Share with your friends :