27 C
Colombo
18/01/2025

මහර ගැටුමෙන් තුවාල ලැබූ රැඳෙවියන් පිරිසකට කොරෝනා

Share with your friends :

මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියන් 69 දෙනෙකු තුවාල ලබා ඇති එයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.මෙම තුවාලකරුවන් දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබති.
එම රැඳවියන් 61 දෙනා කොරෝනා ආසාදිත බැවින් විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් රාගම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මහර බන්ධනාගාරයේ එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අතර තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ හේතුවෙන් රාගම රෝහල ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව දැඩිකර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන් කරන ලද විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය විමර්ශන කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් රජය විසින් පත්කර තිබේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා ,අධිකරණයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත ,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ , හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්ය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.

Share with your friends :