27 C
Colombo
18/01/2025

ජනාධිපතිතුමනි – ආයුබෝවන් !

Share with your friends :

ජනාධිපතිතුමනි – ආයුබෝවන් !
ඔබ තුමා ලඟදි දවසක ජාතිය අමතන්න පටන් ගත්තේ ආයුබෝවන් කියලා, මටත් හිතුනා ඔබ තුමාට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න .ජාතිය අමතා ඔබ තුමා කිව්වා , ඔබ තුමා කාටත් බය නැහැ කියලා ,ඔබ තුමා එහෙම කිව්වහම මට හිතුනේ ජනතාව වශයෙන් අපිටත් කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියලයි. අඩුම වශයෙන් නිදහසේ තමන්ගේ මතය ඔබට ඉදිරිපත් කිරීමට බය විය යුතු නැහැ කියලා මට හිතුනා , එහෙම හිතාගෙන රටට තියෙන ආදරය නිසයි මගේ මතය ඔබට ඉදිරිපත් කරන්නේ.
මට හිතෙනවා මම ජනාධිපතිනම් , මා කරන්නේ කුමක්ද කියලා කිව්වා නම් මේ කාරනාව ඔබට හොඳින් තේරුම් යාවි කියලා , මම කතාකරන්නේ ආර්ථිකය ගැන. මම ජනාධිපතිනම් මම යන්නේ නැහැ, වේරහැර මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට හෝ නිවාස දෙපාර්තමේන්තුවට …….
ඒ වෙනුවට මම යන්නේ වෙළඳ සංගම් වලට ( Chamber of Commerce) වලට , අපනයන හා ආයෝජන සංගම්වලට , ආයෝජන මණ්ඩලයට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට , මා ඒ අයගෙන් ඉල්ලා සිටිනවා රටේ ප්‍රධාන ජාතික ගිණුමක් යහපත් කරගන්න උදව් කරන්න කියලා , එම ගිණුම් ස්ථාවර කරගන්න උදව් කර ගන්න කියලා සිටිනවා. මොකක්ද ඒ ගිණුම ? ඒ අන් කිසිවක් නොවේ … ඒ රටේ “ Current Account ” එක කියන ජාතික ගිණුමයි.
මෙන්න මේ ගිණුම මගින් තමයි රටේ සංවර්ධනය මූලික වශයෙන්ම සීමා වන්නේ, මෙම ගිණුම යහපත් කරගන්න මූලිකවම උදව් වන්නේ ව්‍යාපාරික ප්‍රජාවම පමණයි.ඔවුන්ට උදව් කල හැකි ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන බලාත්මක කරන්න. ඔවුන්ව මේ කරුණ ගැන දැනුවත් කරන්න. මුළු රාජ්‍ය යාන්ත්‍රනයට ඉහත කී ගිණුම යහපත් කරන්නට හා ස්ථාවර කරගන්නට යොමු කරගන්න.එහෙම කරන්නට මම ජනාධිපති නම් මා බිය වන්නේ නැහැ.
ණය වලට වඩා ආයෝජන දිරිගන්වන බව ඔබ කිව්වා.මමත් එහෙම කරනවා , හැබැයි ආයෝජන දිරිගන්වන්න බැහැ “Current Account ” නමැති ජාතික ගිණුම වේගයෙන් අයහපත් වෙනවා නම් ….. , මොකද “Current Account ” එක අයහපත් වෙන කොට රටේ මුදල අවප්‍රමාණය වන වේගය වැඩිවෙනවා, විදේශ ආයෝජකයෝ ඒකට කැමති වෙන්නේ නැහැ,
ඒ නිසයි මා ඔබට යෝජනා කරන්නේ රටේ “ Current Account’’ එක යහපත් හා ස්ථාවර කර ගන්න උනන්දු වෙන්න කියලා. මෙම ගිණුමේ ශේෂය යම් විචල්‍යයන් (Variable) රාශියකගේ ඵලයයි (Resultant effect). ඵලය වෙනස් කරගන්නට උවමනා නම් වෙනස් කල යුත්තේ හේතුව බව ඔබ දන්නවා, ඔබ සහ රජය කල යුත්තේ හේතු (Cause) වෙනස් කිරීමයි. “ Current Account” ගිණුම යහපත් වන්නේ එවිටයි. එවිට එම ගිණුම හේතුවක් වෙලා රටට ගලා එන ණය නැති විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා, රටේ සංවර්ධනය ආරම්භ වන්නේ මෙතනින්, ඔබට මේ කාරණාව වැටහුනා කියලා මට හිතෙනවා,
ජනාධිපතිතුමනි, ආර්ථිකය කියන්නේ පද්ධතියක් (System එකක්). ඒ පද්ධතියේ හැසිරීම හරිම අමුතුයි.ඒක අසමතුලිත පද්ධතියක් (Disequilibrium system). ඔබට සමීපව සිටින ආර්ථික හා මූල්‍ය උපදේශකයන් පවා මෙම පද්ධතියේ හැසිරීම නිවැරදිව තේරුම් අරගෙන තියෙනවද කියලා සැකයක් තියෙනවා,
පද්ධතියක් යනු සංරචක (Elements) රාශියකින් සමන්විත දෙයක්. සංරචක වලට අනන්‍යවූ ගති ලක්ෂණ තියෙනවා, පද්ධතියේ මෙම ගති ලක්ෂණ පිළිබිඹු වෙනවා. එයට අමතරව පද්ධතියට ආවේනිකවූ එක් එක් සංරචක වල ගුණවලින් විස්තර කල නොහැකි ගුණයන් (Emergent properties) පද්ධතිවල තියෙනවා.උදාහරණයක් වශයෙන් මේස ලුණු (NaCl) රසායනික පද්ධතියක් නම් එහි තියෙන ලුණු රස, එම පද්ධතියේ සංරචකයන් වූ සෝඩියම් (Na) වල හෝ ක්ලෝරයිඩ් (Cl) වල නැහැ. පද්ධතිවල “Emergent properties” අන්න ඒ වගේ.ආර්ථිකයත් අන්න ඒ වගේ පද්ධතියක්. ඒ නිසයි මා කිව්වේ ආර්ථිකය හැසිරෙන්නේ හරිම අමුතු විදිහකට කියලා . මේ පද්ධතිය මනාව කළමනාකරණය කර ගන්න ආකාරය ගැන දැනුවත් ප්‍රකාශ අයවැය විවාදයේදී අපට අසන්නට ලැබුනේ නැහැ.අපි ඒක පැත්තකට දාමු . මේ ආර්ථිකය නමැති පද්ධතිය හරියට කළමනාකරණය කරගන්නේ කොහොමද කියන මාතෘකාව සම්බන්ධයෙන් මා තවදුරටත් ඔබ තුමාට ලියන්නම් .
ඔබට තෙරුවන් සරණයි !
හේම සේනානායක
(හේම සේනානායක සර්ව ආර්ථික විද්‍යා පර්යේෂකයකු වන අතර ඔහු 2011 වසරේ සිට ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකි.ඔහු ලෝක ණය අර්බුදය සම්බන්ධයෙන් විශේෂ හැදෑරීම් සිදු කර ඇත්තෙකි.)

Share with your friends :