27 C
Colombo
23/09/2024

මීළඟ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හා ශ්‍රීලංකාව

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ රාජ්‍ය ලේකම්වරයා ලෙස පළපුරුදු රාජ්‍ය නිලධාරියකු හා විදෙස් කටයුතු ප්‍රවීණයකු වන ඇන්තනි බ්ලින්කන් පත් කිරීමට ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ප්‍රධානතම තනතුර වන ඇමරිකානු රාජ්‍ය ලේකම් තනතුරට ඇන්තනි බ්ලින්කන් පත්වීම ශ්‍රීලංකාවට අතිශය වැදගත් වනු ඇත.ඔහු එක්සත් ජනපදයේ නියෝජ්‍ය ලේකම්වරයකු ලෙස මෙන්ම විදේශ සම්බන්ධතා පිලිබඳ සෙනෙට් කමිටුවේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ.
ඔහු ක්ලින්ටන් ,බුෂ්, ඔබාමා පරිපාලනයන්හි ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති අතර ඔහු විදෙස් සම්බන්ධතා සම්බන්ධයෙන් උපරිම තලයේ ප්‍රවීණයෙකි. කොටින්ම මාක් පොම්පියෝ හා සසඳන කල විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔහු සිටින්නේ ගවු ගණනක් ඉදිරියෙනි.
යුදෙව් ජාතික දෙමාපියන් යුවලකගේ පුත්‍රයා වන බ්ලින්කන් කලක් ප්‍රංශයේද අධ්‍යාපනය හදාරා ඇති අතර ඔහුගේ රාජ්‍ය පාලන කටයුතු වලදී යුරෝපය සමග සමීපව කටයුතු කිරීම මෙන්ම ඇමරිකාවේ ජාත්‍යන්තර සබඳතාවලදී යුරෝපයට ප්‍රමුඛතාවය දීම සිදු විය. ඔහුගේ කටයුතුවලදී සැමවිටම යුරෝපය සමග එකාබද්ධව කටයුතු කිරීම දක්නට ලැබේ.ඒ තරමට ඔහුගේ යුරෝපා සම්බන්ධතා දැඩිය. ඔහුගේ පියාද විදෙස් තානාපතිවරයකු ලෙස කටයුතු කර තිබීම නිසා ඔහු කුඩා කල සිටම ඇමරිකානු විදෙස් ප්‍රතිපත්තිය පිලිබඳ දැනුමක් ලබා තිබේ.
ඒ සියල්ලටම වඩා පසුගිය කාලයේ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් මෙහෙයවූ සමන්තා පවර් ඔහුගේ සමීපතමයෙකි. ජෝ බයිඩන් උපජනාධිපතිවරයා ලෙස කටයුතු කල කාලය තුල ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහු ඔසාමා බිල් ලාඩන් මරා දැමීමේ මෙහෙයුම , ලිබියානු ආක්‍රමණය , සිරියානු යුද්ධය , ISIS සංවිධානයට එරෙහි යුද්ධයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කල අතර ඊට පෙර ඇමරිකාවේ ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන්ද වැදගත් කාර්ය භාරයක් ඉටු කර තිබේ.
මේ දීර්ඝ රාජ්‍ය සේවය තුල ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඔහුට දීර්ගකාලීන අත්දැකීම් ඇති අතර එම නිසා ඇමරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය ශ්‍රීලංකාවට හිතකර ආකාරයට පවත්වා ගැනීමට ශ්‍රීලංකාව විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබේ. විශේෂයෙන්ම ඔබාමා පරිපාලනය තුල ශ්‍රීලංකාව මුහුණ දුන් ගැටළු සැලකිල්ලට ගෙන එවන් තත්වයක් යලි ඇති කර නොගැනීමට කටයුතු කල යුතුව තිබේ.

Share with your friends :