27 C
Colombo
24/11/2024

මැරඩෝනාගේ අවසන් ගමන – ජාතික වීරයෙකුට සලකන හැටි ආර්ජන්ටිනාව ලොවට කියාදෙයි

Share with your friends :

අභාවප්‍රාප්ත සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා වෙනුවෙන් ආර්ජන්ටිනාව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වන විට මැරඩෝනා ගේ දේහය තබා ඇත්තේ එරට ජනාධිපති මන්දිරයේය.
ආර්ජන්ටිනාවේ ලක්ෂ ගණන් ජනතාව පොරකමින් මේ වන විට මැරඩෝනාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට එක්රැස් වෙමින් සිටින්නේ හඬා වැලපෙමිනි. එම ජනතාව පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වලට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබේ.
මැරඩෝනාගේ දේහය සහිත දෙන ආර්ජන්ටිනා ධජයෙන් ආවරණය කර ඒ මත ඔහුගේ අංක 10 සලකුණු කල පාපන්දු ජර්සිය තබා තිබේ.
ඔහුගේ දේහය ආර්ජන්ටිනාවේ බුවනර්ස් අයර්ස් නගරය ආසන්නයේ මිහිදන් කිරීමට නියමිතය. ඔහුගේ දෙමාපියන්ගේද සිරුරු මිහිදන් කර ඇත්තේ එහිය.
මේ මස මුලදී මොලයේ ලේ කැටියක් ඉවත් කිරීම සඳහා මැරඩෝනා ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර එය සාර්ථක විය. රෝහලෙන් නිවසට රැගෙන ආ ඔහු සති දෙකකට පසු මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙනි. ඔහුගේ මරණය සිදුව ඇත්තේ බුවනර්ස් අයර්ස් හි පිහිටි ඔහුගේ නිවසේදීය.
මැරඩෝනාට දරුවන් පස් දෙනෙකි. ඔහු සිය බිරිඳ ක්ලෝඩියා වලෆෙන් ගෙන් 2004 වසරේදී දික්කසාද වුයේ විසිවසරක විවාහ ජීවිතයකට පසුවය.
බොහෝ අර්ජන්ටිනානුවන් ට ඔහු දෙවියෙකි. එතරමට එරට ජනතාව ඔහුට ගරු කරති. මිය යන විට ඔහු 60 වන වියෙහි පසු විය. 1986 දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරමින් එම වසරේ ලෝක පාපන්දු කිරුල ආර්ජන්ටිනාවට ලබා දීමට ඔහු මුලික විය.එහි අවසන් පූර්ව වටයේ තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය. ආර්ජන්ටිනාව වෙනුවෙන් සිවු වරක් ලෝක පාපන්දු ශුරතාවලියන් සඳහා තරග කල ඔහු එම තරග 91 කදී ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ගෝල 34 ක් ලබා ගත්තේය. ඔහු මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් ක්‍රීඩා දිවියේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීද දැඩි ලෙස කතාබහට ලක්වූ පුද්ගලයකු විය.ඉතාලි ක්‍රීඩා සමාජයක් වන නැපෝලි කණ්ඩ‍ායම සමඟ එක්ව ලීග තරගාවලි සඳහා සහභාගි වූ මැරඩෝනා, 1987 සහ 1990 වසරවලදී සෙරී ඒ ලීග ශූරතාවද, 1987 වසරේදී ඉතාලි කුසලානයද, 1991 වසරේදී යූෆා කුසලානයද දිනා ගැනීමට සමත් විය.
1990 දී ලෝක පාපන්දු ශුරතාවලියේ අවසන් මහා තරගයේදී ඔහුගේ නායකත්වයෙන් යුතු වූ ආර්ජන්ටිනාව බටහිර ජරමනියට පරාජය විය. ඔහු 1997 දී එනම් වයස අවුරුදු 37 දී ජාත්‍යන්තර තරග වලින් සමුගත්තේය. 2008 දී ඔහු ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කරන ලද අතර පසුව 2010 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පුරව තරගයෙන් ජර්මනියට , ආර්ජන්ටිනාව පරාජය වීමෙන් පසු එම තනතුරින් ඉවත් විය. ශ්‍රීලාංකික ක්‍රීඩාලෝලීන් අතරද මැරඩෝනා අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙකි.

Share with your friends :