වසර ගණනක අතීතයකදි
නොදුටු ඇස් යළි හමුවෙලා
අපිව තැනකදි හමුවුනාදැයි
අහන හැටි මට ලංවෙලා
නුඹට අමතක ඒ අතීතය
මගේ හිත යට ගොළු වෙලා
මතක ඇහැරෙයි හිතේ සැඟවුන
නුඹට බැඳි පෙම සිහි වෙලා………..
————————————————————————-
ඒ ඇස්……..
එක කාලයක් දකින්න මම ආස කරපුම ඇස්…. කාටත් හොරෙන් මම ආසාවෙන් බලන් හිටපු ඇස්…. බේතකටවත් මේ කපේට මං දිහා නං බලන්නෙ නෑ කියල දැන දැනත් ආදරෙන් බැඳුන ඒ ඇස්… කපුටු පැටියෙක් වගේ කැහැටු පෙනුමක් තියාගෙන ආසාවෙන් බලන්න නොවටිනා උනත් ඔන්නොහෙ කමක් නෑ කියල හිත හදාගෙන මං බලන් හිටපු ඒ ඇස්…. කිසි දවසක ලැබෙන්නෑ කියල දන්නව උනත් කවදහරි දෙයියො වැරදිලාවත් වරමක් දුන්නොත් මට හිමිවෙන්න කියල ප්‍රාර්ථනා කරන්න හිතන් හිටපු ඒ ඇස්…. මාව තඹ දොයිතුවකට මායිම් නොකලට මගේ ලස්සනම ලස්සන යාළුවො දෙතුන් දෙනෙක් දිහාම ආදරෙන් බලපු ඒ ඇස්…. ඒ හැම වෙලාවකම මං ඒ දිහා බලං හිටිය කියල නොදැන හිටපු ඒ ඇස්… කොටින්ම මං කියල එකියෙක් හිටිය කියල නිකමටවත් නොහිතන්න ඇති ඒ ඇස්……….
– මං ඒ ඇස් මුලින්ම දැක්කෙ අපේ ඉස්කෝලෙ ගාව බස් හෝල්ට් එකේදි… මොකද්දෝ ක්‍රමේකට ඒ කාලේ වැරදි වැරදි කම්මැලි කමෙන් වගේ ඉගෙන ගත්ත කෙමිස්ට්‍රි වලවත් නැති රසායනික විපර්‍යාසයක් මගේ ඔලුවට වෙනව කියල දැනුනෙ එදා ඒ ඇස් දැක්කම.. හැබැයි ඒ ඇස් නම් හිටියෙ නොඉවසිල්ලෙන්… කවුරුහරි එන මග බල බල… මොකෝ මං එන මග බලන් හිටිය කියලයැ…ඒ උනත් අපි එද්දිම මොකද්දෝ සීරුවට සිද්ද උනා කියලනම් මට කොහෙන්දෝ ආපු මොලේකින් තේරුනා.. ඒ ඇස් පොඩ්ඩක් කලබල උනා..යාලුවට අතින් ඇනල අපේ පැත්ත පෙන්නුව.. මොකෝ මට කියලයැ.. ඒත් ඒ ඇස්…… අනේ…. මට උනා නං…… සිරාවට මට නං එහෙමත් හිතුන… මං ආවෙ මගෙ යාලුව කෞෂි එක්ක.. මායි කෞෂියි බස් හෝල්ට් එකේ ටිකක් ඈතට වෙන්න තිබ්බ ජෑම් ගහ ලඟ අපේ සුපුරුදු නැවතුම ළඟ නතර උනා.. හැබැයි මට නං ඒ ඇස් ළඟට යන්න හරියට ඕනකම තිබ්බ.. කොහෙද ඉතිං… මේකි බෑම කිව්වනෙ…
කෞෂි මෙලෝ සිහිසන්නයක් නැතුව කතා කරාට මගේ නං සිහියයි ඇසුයි දෙකම තිබ්බෙ ඒ ඇස් ළඟ.. හැබැයි ඒ ඇස් නැවතිලා තිබ්බෙ කෞෂි ළඟ… ඔන්න ඕකනෙ කියන්නෙ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියල… ඉඳල ඉඳල හා හා පුරා කියල හිතට ආපු පළවෙනිම ආදර බීජෙ, දළු ලියලන්නත් කලින් යකෝ කෞෂිට පෑගිලා මළා කිහාංකො…. ඒකිට නං ගානක් නෑ.. තේරුනෙත් නෑ.. ගණන් ගත්තෙත් නෑ.. ඒකි ඒ දවස්වල පිස්සුවෙන් වගේ ට්‍රයි එක දීගෙන හිටියෙ ඒකිට කම්බයින්ඩ් වලට ටියුෂන් දෙන්න ගෙදරට එන කැම්පස් අයියට…. අම්මප ඒකත් හොඳ වෙලාවට… මට එහෙමත් හිතුන… හි හී… දැන්නං මතක් වෙද්දි හිනාත් යනව…..
අන්තිමට ඇස් ගැන අමතක කරල මට කෞෂිගෙ කතාව අහන්නම උනා.. ඔන්න බස් එකත් ආපි.. දෙයියනේ ඒ ඇස් යාලුවවත් ඇදගෙන බස් එකට නැග්ග අපි එක්කම.. කෞෂි නං ඉතිං රහල් අයියගෙ ඕපදූපෙ කියෝනව තොරතෝංචියක් නැතුව… ඉඳගන්න ඉඩ නැති උනත් තෙරපෙන්න බැරි නිසා අපි දෙන්න පිටිපස්සටම ගියා.. මෙන්න ඒ ඇස් යාලුවත් ඇදගෙන පිටිපස්සෙ.. දැං මායි කෞෂියි බස් එකේ දකුණු පැත්තට හැරිල කියවිල්ල,ඒ ඇස් බස් එකේ වම් පැත්තට හැරිල හරියටම කෞෂි කෙලින් ප්‍රතිවිරුද්ධව හිටගෙන.. එයාගෙ යාළුව හිටියෙ මට කෙලින්.. කෞෂි එක්ක කතා කරද්දි මගේ ඇස් වල කොනෙන් මට පේන්නෙ ඒ ඇස්… අනේ… ශෝයි…!!!ඒ ඇස් සැරින් සැරේ හැරි හැරී කෞෂිය දිහා බලනව.. යකෝ මේකිට ගානක් වත් නෑනෙ…මං උනා නං දැං මේ බස් එකේ පියාඹනව.. ඒකත්,
“තුම් පාස් ආයේ
යූ මුස්කුරායේ
තුම් නේ න ජානේ ක්යා
සප්නේ දෙකායේ….
අබ් තෝ මෙරා දිල්
ජාගේ න සෝතා හේ
ක්යා කරු හායේ
කුච් කුච් හෝතා හේ……..” කිය කිය බස් එකේ ජනේලෙ එල්ලිලා මුලු ඇඟෙන් බාගයක් එලියට දාං…
කොහෙද ඉතිං… අපිට කොහෙන්ද පූසො මාලු- අපි යනවැයි මූදු…. ඒත් ඒකපාර්ශ්වික ආදරේකට ඒකෙ බාධාවක් නෑනෙ..මං හිත හදා ගත්ත…..
ඔන්න ඒ අස්සෙන් මට කෞෂිය එක්ක කියවද්දි ඇස් කොනෙන් පේනව ඒ ඇස් මා දිහා බල බල මොකක්දෝ කියනව…. දෙයියනේ….. ඒ මටද?
ඔලුගෙඩිය!!! බලපං සංජු උඹේ හැටි, උඹ දිහා ඔය වගේ එකෙක් බලනවනං දෙයියනේ කියල එක්කො උගේ ඇස් අකලට නරක් වෙලා හරි ඇහේ සුද ඇවිල්ල ඇහට අපස්මාරෙ වත් හැදිලා ඇති…
ඕං ඔහොම කියල මට උපදෙස් දෙන ගාඩියන් ඒන්ජල් සුරංගනාවි ඔලුව ගාවින් මතුවෙලා ඔලුව රත් වෙන්න මට ටොක්කක් ඇනලා කිව්වා…
අම්මප… ඇත්ත…
තැන්කූ සුරා…
ඔව් ඔව්… සුරා තමයි.. නෑ නෑ.. බොන එව්ව නෙවෙයි, අර ටිං ටිං ගෙ බල්ලට උනත් හැම වෙලේම වලාකුලක් ඇවිල්ල මතුවෙන හොඳ සුරංගනා ස්නෝවියි නරක සුරංගනා ස්නෝවියි ඉන්නෙ…මේක කරපං.. මේක එපා.. ඔය වගේ ඒව කියන්නෙ..අන්න ඒ වගේ..සංජුටත් ඉන්නව මනෝ පාර ගහද්දි හරි පාරට ඇදල සිහි එලව ගන්න සප් එක දෙන සුරංගනාවියෙක්…එයා තමයි සුරා…සුරාව පේන්නෙ ඉතිං මේ සංජුට විතරයි… ඒ කාටූන් එක බලපු ළඟ කාලෙ මට තිබ්බ මේනියාව ඒක.. අනේ ඉතිං කාටුන් බලල මේනියා හදාගෙන පිස්සු කෙලින අපි දිහා කොල්ලො බලයිද නම්කි?
ෂ්ෂ්… ෂ්ෂ්…ෂ්ෂ්ෂ්……
ආ….මොකද මේ සුරා නයෙක් වෙලා…
අම්මට සිරි… නෑනෙ….ඒ ඇස්….
ඕං මං ආයෙ පියවි ලෝකෙ…
මං ඒ දිහා බැලුව..
“ඔයාගෙ ඇස් ලස්සනයි… මං ඔයාට කැමතියි” මට කියන්න ඕන උනේ එහෙම…
ඒත් මම නිකන් හරියට උණහපුලියෙක් වගේ ඒ ඇස් දිහා බලාගෙන.. පියවි සිහියට එන්නත් විනාඩියක් ගියාද මන්ද…. මගේ පැත්තට කොල කෑල්ලක් දික් වෙද්දි තමයි මට මතක් උනේ මං පැණි හලාගෙන ඒ ඇස් දිහා බලාගෙන කියල..
” නංගි මේක යාලුවට දෙන්නකො.. ප්ලීස්..”
මං ඒ ලියුම අතට අරං කෞෂිට දික් කරේ හීනෙං වගේ.. කෞෂි ඒක දිහා බලල කෙලින්ම පිටිපස්ස බැලුව කෑල්ලත් ඒ හීනෙම කෑල්ලක්ද මන්ද…., “පිස්සුද? හැටිද? වෙන වැඩ නැද්ද හලෝ ගෑනු ළමයින්ට ලියුං දිදී යන්න.. මේක අරං ගිහින් දීගන්න වෙන කාට හරි, මළ විකාර” කෞෂිගෙ ලස්සන මූණ රතුම රතු වෙලා… තවත් ලස්සනයි තරහ ගිහින්.. මෝඩි!!! බැන්නනෙ මගෙ ඇස් වලට… පව්ව්..
බස් එකේ හිටිය සෙට් එකම ඒ දිහා බැලුව… ලැජ්ජ හිතිච්ච පාර මිනිහ යාලුවවත් ඇදගෙන බස් එකේ පිටිපස්සෙ දොරෙන් බැස්ස ඊළඟ හෝල්ට් එකේ… මට නං දුකේ බෑ..
“පව් බං…” මං හිමීට කිව්ව..
පව්? මොන පව්ද, මහ කුකුළෙක් ඔය.. මං දන්න යාලුවො දෙතුන් දෙනෙක්ගෙම පස්සෙන් ආව. උබ දන්නැති මඟුල් නොකිය හිටහං” ඔන්න කෞෂිගෙ උත්තරේ…. නපුරි… බැන්නනෙ එයාට….
හුම්ම්ම්.. මැදැයි… ඉඳල ඉඳල මටත් හිත ගිය එකා.. කුකුලෙකුත් නෙවෙයි… කුකුල් බාප්පොච්චියෙක්…කමක් නෑ ඒත්…
ඒ ඇස්…. කොහොමද මං අමතක කරන්නෙ..
ඔන්න ඒ ඇස් දැකපු පළවෙනි පාර…
පළමු හමුවීමෙම මගේ ආදරේ වෙන කෙනෙක්ට… බූට් සීන් එකේ හොඳම එකෙන් සන්තෘප්ත උන හිතෙන් යුක්තව දෙයියනේ කියාගෙන මං ඉතිං ගෙදර ගියා සුරා එක්ක.. සුරා යනකන්ම මට කිව්ව ඉතිං දුක් වෙන්න එපා රංජනී, නෙවෙයි සංජු, උබටත් කලක් යයි කියල, සුරාගෙ රාජකාරිය ඉතිං මගේ ගාඩියන් ඒන්ජල් විදිහට හිත හදන එකනෙ…ඉතිං මං මටම විතරක් ඇහෙන එයාගෙ බණ ටෝකිං අහං ආවා..
ඒ උනාට මොකද, ඒ ඇස් හැම තැනම.. කොහොමද ඒ… අයියෝ…. –
එදායින් පස්සෙ ඒ ඇස් අපේ රිවිශන් ක්ලාස් වලදි මං දැක්ක…. මහ දඟකාරයි…. කෞෂි කොහොම බැන්නද මන්ද… ඒකිට රහල් අයිය ඉන්නවනෙ…ඒකයි ඒ…. ඒ වෙද්දි ඒකි රහල් අයියා එක්ක ආදරෙන් බැඳිලා, තැම්බිලා, කරවෙලා, අඩිය අල්ලල හිටියෙ.. ඉතිං ආදර විමනෙ පාවි පාවි හිටිය මිසක් ඒකිට නං ඕන උනේ නෑ ඒ ඇස් නිකම්වත්…
මං නං රිවිශන් එක ක්ලාස් එකක් වත් මිස් කරේම නෑ.. රිවිශන් කිරීම කෙසේ වෙතත් ඒ ඇස් බලන්න වෙනම ඕනි කමක් තිබ්බ.. මං බලනව කියල හාංකවිස්සියක් නෑ.. ඒ ආපු මාස තුනටම මගේ යාලුවො දෙතුන් දෙනෙක්ටම ට්‍රයි කරානෙ ඉතිම්.. ඒවත් බලං උපේක්ෂාවෙන් හැබැයි ආසාවෙන්… ඒ ඇස් දිහා හොරෙන් බල බල කාටවත් නොකිය හිටිය… මොකෝ කිව්ව කියල කවුරුත් හිතයිද කොල්ලෙක් වගේ දඟල දඟල ඉන්න මට කොල්ලෙක්ට ආස හිතෙයි කියල.. ඒ අදහස අත් ඇරියෙම ඒකයි… කොහොමත් මං කපුටු කුලේ පක්ෂියෙක්ගෙ ආකාරයෙ නිසා කාටවත් ඇහැ යන පාටක් තිබ්බෙ නෑ.. ඒ නිසා කවුරුවත් කවදාවත් ඒ ඇස් දිහා මං හොරෙන් බලන එක නං නෝටිස් කරේ නෑ… ඉතිං මගේ නිහඬ ආදරේ ඒ ඇස් දිහා බල බලම ඒලෙවල් කරනකන් ගෙවිල ගියා…
මොකද්දෝ මන්ද කියන බැරි ලස්සනකුයි දඟකාර කමකුයි අමුතුම කතා කරන ගතියකුයි තිබුණ කියල මට හිතුණ.
ඒලෙවල් ඉවරවෙලා හැමෝම සීසීකඩ විසිරුනා.. ඊට පස්සෙ කවදාවත් මං ඒ ඇස් දැක්කෙ නෑ… දකින්න ආස උනත් දැක්කෙ නෑ…………
To be continued……….
-සිතුනදී-