27 C
Colombo
18/01/2025

ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා – LPL කෙසේ හෝ පවත්වනවා – සංවිධායකයෝ පවසති

Share with your friends :

කවර තත්වයන් යටතේ වුවද කලින් නියම කර ගත් පරිදි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පවත්වන බව එහි සංවිධායකවරු ප්‍රකාශ කරති.
ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට කොරෝනා වසංගතය හේතුවෙන් ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදුව තිබේ.
කලම්බු කිංස් කණ්ඩායම නියෝජනය කරන රවින්ද්‍රපාල් සිංට සහ කැන්ඩි ටස්කර් කණ්ඩායම නියෝජනය කරන සොහේල් තන්වීර්ටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මේ වන විට තහවුරු වී තිබේ. මොවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් යොදවා ගැනීමට නියමිතව තිබේ.
මේ වන විට ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල් තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ. ලසිත් මාලිංග ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමටත් ක්‍රිස් ගේල් කැන්ඩි ටස්කර් කණ්ඩායමටත් තෝරාගෙන තිබු අතර මේ නිසා ඔවුන් දෙදෙනා වෙනුවට වෙනත් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා ගැනීමට සිදුවනු ඇත. එමෙන්ම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි එංගලන්තයේ රවී බොපාරාද මේ වනවිට තරගාවලියට සහභාගී නොවන බව දන්වා තිබේ.
මේ අතර කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසුවේ කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බවය.
එල්. පී. එල් තරගාවලිය ලබන 26 වන දා ඉදන් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා, කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි තරගාවලියක් පවත්වන පුළුවන්ද කියන ගැටලුව තියෙනවා, තවත් කොරෝනා පොකුරක් ව්‍යාප්තවීමේ අවදානමක් මෙහි තිබෙනවා,මේ තරගාවලියට සහභාගි වන්නේ අපට ජාතික වටිනාකමක් ලබා දෙන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන්, මෙහි තරග කිරීමට පැමිණෙන විදේශ ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබෙනවා, විවිධ රටවල් වලින් අපේ රටට ක්‍රීඩකයන්, පුහුණු කරුවන්, මාධ්‍යවේදීන්, විස්තර විචාරකයන් ආදී කණ්ඩායම් සහභාගි වෙනවා. මේ අය කොරෝන අරන් අපේ රටට ආවොත් අපේ රට තවත් අවදානමකට පත් වෙනවා, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :