27 C
Colombo
18/01/2025

අයවැය යෝජනා නව ලැයිස්තුගත කිරීම් සඳහා පෙළඹවීමක් – SEC සභාපති විරාජ් දයාරත්න

Share with your friends :

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් රට තුළ දේපොළ ආයෝජන භාර ස්ථාපිත කිරීමට විශාල රුකුලක් වනු ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පවසයි.
මෙම යෝජනා අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2020 ජූලි 31 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නීති මගින් හඳුන්වා දුන් ශ්‍රී ලංකා දේපල වෙළෙඳාම් ආයෝජන භාර (REITS) ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස, අය වැය යෝජනා වල සඳහන් පරිදි REITS වල ආයෝජන ප්‍රාග්ධන ලාභ බදුවලින් සහ ලාභාංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. තවද, මුද්දර බද්ද 0.75% දක්වා අඩු කිරීමට නියමිත අතර කර්මාන්තයේ නියැළී සිටින පාර්ශවකරුවන් විසින් එම මුද්දර බද්ද ශ්‍රී ලංකා දේපොළ ආයෝජන භාර පිහිටුවීමට බාධාවක් ලෙස වටහාගෙන තිබුණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශ්වාස කරනුයේ මෙම යෝජනාව මගින් රට තුළ දේපොළ ආයෝජන භාර ස්ථාපිත කිරීමට විශාල රුකුලක් වනු ඇති බවයි.
මීට අමතරව, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) තුළ දේශීය සමාගම්වල නව ලැයිස්තුගත කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 දෙසැම්බර් 31 ට පෙර ලැයිස්තුගත කෙරෙන සමාගම් වලට 2021/2022 වසර සඳහා 50% ක බදු සහනයක් ලබාදීම වැනි ඇතැම් ප්‍රධාන යෝජනා රජය විසින් ඉදිරිපත් කර ඇත. පසුගිය වසර කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වු සමාගම් සංඛ්‍යාවෙහි ඉහළයාමක් දක්නට නොලැබුණු අතර වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පහළ මට්ටමක පැවතීමට හා සාපේක්ෂව විශාලත්වය කුඩා අගයක් ගැනීමට එය හේතු වී ඇත. මෙම නව යෝජනාව නව ලැයිස්තුගත කිරීම් සඳහා පෙළඹවීමක් වනු ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් 2019 ට සාපේක්ෂව සමස්ත වෙළෙඳපොළ පිරිවැටුමේ 80% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර දෛනික සාමාන්‍ය පිරිවැටුම ද දෙගුණ වී තිබේ. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා අදහස් දක්වමින්, “2020 සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුව ගත් පියවර නිසා රටේ වර්තමාන තත්ත්වය මධ්‍යයේ කොටස් වෙළෙඳපොළ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි වී තිබෙන බවද දයාරත්න මහතා පවසයි.

Share with your friends :