27 C
Colombo
18/01/2025

විස්ස සම්මත කර ගත් ආණ්ඩුවට පාලන මිලට ආහාර ලබා දීමටවත් බැහැ – කරු ජයසූරිය

Share with your friends :

කොරෝනා වසංගතය ව්‍යාප්ත වී රට අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට ආණ්ඩුව විසිවන සංශෝධනය කෙරෙහි අවධානය යොමු කිරීම හේතු වූ බවත් විසිවැනි සංශෝධනය සම්මත කර සිය බලය තහවුරු කරගත් ආණ්ඩුවට පාලන මිලට ආහාර ද්‍රව්‍ය ලබා දීමටවත් හැකියාවක් ලැබී නොමැති බවද හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
බලයට ඇති කෑදර කම මත පදනම්ව විසිවන සංශෝධනය සම්මත කරගැනීම මගින් වත්මන් ආණ්ඩුව සියදිවි නසාගත් බවද කරු ජයසූරිය මහතා පැවසුවේ කොළඹ ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කරු ජයසූරිය මහතා මෙසේද පැවසීය.
“මේ රටේ ජනතාව යම් නිශ්චිත කාලයකට අදාලව ජනාධිපති වරයාටත් වර්තමාන ආණ්ඩුවටත් පැහැදිලි ජනවරමක් ලබාදී තිබෙනවා. එම ජනවරම අනුව ජනාධිපතිවරයාත් , අගමැතිවරයාත් ඇතුළු වර්තමාන ආණ්ඩුවත් ජනතාවගේ අපේක්ෂා මූලික කරගෙන කටයුතු කරනු ඇති බව අපි විශ්වාස කරනවා.
ඒ වගේම අද බරපතල ව්‍යසනයක්ව පවතින කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යම් උත්සහයක නිරතව සිටින බව පෙනෙනවා. අප එයට පූර්ණ ආශිර්වාදය පල කරනවා.
සමහරු 69 ලක්ෂයක ජනවරමක් ගැන කාලයක්ම කතා කලා. ඒ අයම ඊට පස්සේ ක තුනෙන් දෙකක ජනවරමක ඇති අවශ්‍යතාවය ගැන කතා කලා පසුව ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ඉදිරිපත්කර සම්මත කරගත්තා.
වචන විදිහට ගතහොත් අද වනවිට ඒ සියල්ලම හිස් වචන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මොකද ඒ වචන වලට සැබෑ අර්ථයක් ලබාදුන්නානම් අදවනවිට මේ රට මීට වඩා යහපත් වෙන්න තිබුණා.20 වන සංශෝධනය ගැන එය ගෙනආ මොහොතේ සිටම මේ රටේ විශාල සංවාදයක් ඇති වුණා. මහා සංඝරත්නය ඇතුළු කතෝලික, ක්‍රිස්තියානි, පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ ආගම්වලට අයත් බුද්ධිමත් ජනතාව එය අනුමත කලේ නැහැ. එමෙන්ම ඊට අදාළව මේ රටේ සිදුකර ඇති බොහෝ ජනමත සමීක්ෂණ අනුව පෙනී යන්නේත් අද පවා මේ රටේ ජනතාව 20 වන සංශෝධනයට ගරු නොකරන බවයි. ඉතා පැහැදිලි ලෙස ජනතාව එය ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ “සාධාරණ සමාජ දර්ශනය” අනුගමනය කරන කණ්ඩායමක් වශයෙන් අපේ අදහස් කෙලින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය මැතිවරණයෙන් පසු අපි දිගින් දිගටම බලධාරීන්ට ආයාචනය කලේ 20 වැනි සංශෝධනය ගෙනඒම වෙනුවට රට එක්සත් කලහැකි නව ව්‍යවස්ථාවක් ගෙනඒමටයි. රජය ඒ හඬට කන් දුන්නේ නැ. අයුතු ලෙස තුනෙන් දෙකේ බලය ලබාගත්තා.ඒ සඳහා අනුගමන කල ප්‍රතිපත්ති යුක්ති ගරුක, සාධාරණ හා පිරිසිදු නොවුවත් ආණ්ඩුවට අද තුනෙන් දෙකක බලයක් ඇති බව අපි පිළිගන්නවා.
මේ 20 වැනි සංශෝධනය ගැන හඬ නැගූ බුද්ධිමතුන්ගෙන් අපට ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ලෝකයේ වෙන කොහේවත් දක්නට නැති අසීමිත බලතල ලබාගත් රජයට අද පාලන මිලට හාල් දෙන්න පුළුවන්ද, පොල් ගෙඩියක් දෙන්න පුළුවන්ද, සීනි දෙන්න පුළුවන්ද, සැමන්, බී ලුණු, පරිප්පු දෙන්න පුලුවන් ද? 20 වන සංශෝධනය ගෙනඒම මඟින් ආණ්ඩුව සියදිවි නසාගැනීමේ පළමු පියවර තබන බව අප එදා පෙන්වා දුන්නා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එසේ කීවේ එසේ වේවා යන ප්‍රාර්ථනයෙන් නොවේ. එය මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නොවන බව අපට හොදටම වැටහුණ නිසයි.
ඇත්තටම මේ වනවිට රට මුහුණ දී ඇති තත්වය කුමක් ද? අද වනවිට බලාත්මකව පවතින ගැසට් නිවේදන ගණනාවක් දෙස අවධානය යොමුකල හොත් ඒ බව තේරුම් ගන්නට පුළුවන්.
ගැසට් නිවේදන වලින් මිල නියම කලාට එම මිළට වෙළඳ පොලේ ඒ භාණ්ඩ ගන්න නැහැ.බලයෙන් මත් වෙලා ඉවක් බවක් නොමැතිව නීති රීති පැනවීමෙන් ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවන බව මින් පැහැදිලි වෙනවා.
මෙම දේශපාලන සංස්කෘතිය මෙරටින් තුරන් කලයුතුයි. දේශපාලකයින්ට අමතරව විවිධ රාජ්‍ය සේවකයින් දේශපාලන පළිගැනීම්වලට ලක්වී තිබෙනවා. දක්ෂ අවංක ලේකම්වරු හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඊට ඇතුළත්ව තිබෙනවා, ඒවගේම මේ දිනවල රාජ්‍ය ටෙන්ඩර්වලින් සිදුවන අක්‍රමිකතා ගැන වාර්තා වෙනවා.
මේවාහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම තුළ රටට බිලියන ට්‍රිලියන ගණන් මුදල් පිල්ලි ගැසිය හැකි අවස්ථා ඇතිකරදී තිබෙනවා.
අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ ප්‍රසම්පාදන කමිටුව අවුරුදු හතරහමාරක කාලයක් තුළ කරපු කිසිදෙයක් නොමැති බවයි.
එය සම්පූර්ණ අසත්‍යයක්. ඒ බව කණගාටුවෙන් වුවත් කිව යුතුමයි. අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවිටත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වී තිබුණේ නැහැ.
විවිධ දෙපාර්තමේන්තුවල හිරවී නීතිපතිතුමාගේ එකඟත්වය ප්‍රසම්පාදන කොමිසමට ලැබී තිබුණත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වුණේ නැහැ.

Share with your friends :