27 C
Colombo
18/01/2025

කොරෝනා ව්‍යාප්තිය නිසා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරේ

Share with your friends :

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම ක්‍රමවේදය යළි ආරම්භ කරන ලෙස බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු ඇත.
එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ද ආයතන ප්‍රධානියාට හිමවේ.
එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතු අතර නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 – සවස 4.15 දක්වා වේ.
කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, වට්ස්ඇප්, ස්කයිප් වැනි තාක්‍ෂණයන් ඒ සඳහා භාවිත කිරීමට හැකි අතර නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම, ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමකි.
වරාය හා ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය හා විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

Share with your friends :