27 C
Colombo
01/11/2024

ඇමරිකානු රාජ්‍ය ලේකම් – ජනපති ගෝඨාභය සාකච්ඡාවෙන් එකඟතා රැසක්

Share with your friends :

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයිද දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව ද අමෙරිකා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කරගෙන තිබේ.
ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම්වරයා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවද සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත්, විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බවත් පැවසීය.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමයි,විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්, ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්, අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළයුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි ද පෙන්වා දුන්නේ ය.
මෙහිදී, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමෙරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා සඳහන් කළේය.
ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැනද එහිදී ඔහුගේ සතුට පළ කෙරිණි.
ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුනි.
අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියාකිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලටාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

Share with your friends :